ඓතිහාසික ලෝඩ්ස් පිටියේ ශතකය ආසන්නයේ දී ෂර්මා අසරණ වූ ඇන්ඩර්සන්ගේ සුපිරි පන්දුව

Date:

ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කළ පිතිකරුවන්ගේ සමාජයට එක්වීමේ ආසන්න අවස්ථාවක් ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිට් ෂර්මාට අද(12) අහිමි වුණා.

ඒ, එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ඔහු ලකුණු 83කට දැවී යාමත් සමගයි.

ජේම්ස් ඇන්ඩර්සන් යොමු කළ විශිෂ්ඨ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඉන්දීය පළමු ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු වූ රෝහිට් ෂර්මාට සිය 8 වන ටෙස්ට් ශතකයට ලකුණු 17ක් පිටුපසින් සිටියදී අද දැවී යාමට සිදු වුණේ.

ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය මෙරට වේලාවෙන් අද ( 12 ) පස්වරුවේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණේ වර්ෂාවෙන් සිදු වූ ප්‍රමාද වීමකින් ද පසුවයි.

කාසියේ වාසිය දිනාගනිමින් එංගලන්ත නායක ජෝ රූට් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ රෝහිට් ෂර්මා සහ කේ. එල්. රාහුල් යන ක්‍රීඩකයන් දෙදෙනා සාර්ථක ශතක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ රෝහිට් සිය 8 වන ටෙස්ට් ශතකය කරා ළගා වෙමින් සිටියේ හයේ පහරක් හා හතරේ පහර 11ක් සමගින්.

කෙසේ වෙතත්, ඉනිමේ 44 වන පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පිතිකරුවා තුළට දෝලනය කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමට සළස්වමින් රෝහිට්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ වන විට රෝහිට් ෂර්මා පන්දු 145 කදී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 83 ක් වූ අතර, ඔහුගේ කඩුල්ලත් සමග ඉන්දීය පළමු ඉනිමේ ආරම්භක කඩුල්ලේ ලකුණු සංඛ්‍යාව 126කට සීමා වුණා.

එම දැවී යාමත් සමග මව් රටින් පිට සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන රෝහිට් ෂර්මාට තවත් කල් ඒ සදහා බලා සිටින්නට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...