ස්කොට්ලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී තරගාවලි ද්විත්වයක් ස්පාඤ්ඤයේ දී පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
ඒ, කොවිඩ් 19 හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පවතින විවිධ සීමා කිරීම් හේතුවෙන්.
2023 අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යුරෝපා කලාපයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් තේරීමේ තරගාවලියක් සහ 2022 අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා යුරෝපා කලාපීය සුදුස්සන් තේරීමට අදාළ තරගාවලියක් මෙලෙස ස්පාඥ්ඥයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව සදහන්.
කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යුරෝපා කලාපීය සුදුස්සන් තේරීමේ තරගාවලිය අගෝස්තු 26-30 දක්වා පැවැත්වීමට නියමිතයි.
එම තරගාවලිය සදහා ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය සහ තුර්කිය යන රටවල් තරග වැදීමට නියමිතයි.
ප්‍රංශ සහ තුර්කි කාන්තා කණ්ඩායම් අයි.සී.සී තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.
19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා යුරෝපා කලාපීය සුදුස්සන් තේරීමට අදාළ තරගාවලිය සැප්තැම්බර් 19 – 25 කාලයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එම තරගාවලියට අයර්ලන්තය, ජර්සි, නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය ක්‍රීඩා කරන අතර, ඉන් එක් කණ්ඩායමක් පමණක් ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.

