නවකයින් රැසක් සමග එංගලන්ත සංචාරයට 28 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක්

Date:

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බව වාර්තා වනවා.

බංග්ලාදේශ තරග සංචාරය නිමා කර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශේෂ ගුවන් යානයකින් මේ වන විට මෙරටට පැමිණ ඇති අතර, එම සංචාරයට එක් වූ ක්‍රීඩකයින් 18 දෙනා කොළඹ ප්‍රධාන හෝටලයක දී ජෛව ආරක්ෂිත බුබුලකට එක් වීමට නියමිතයි.

අනතුරුව දින 3ක නිරෝධායන කාලයක් ගත කිරීමෙන් පසුව ඔවුන්ට සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම් ආරම්භ කළ හැකියි.

බංග්ලාදේශ තරග සංචාරයට එක් නොවූ, එහෙත් එංගලන්ත සංචාරයේ මූලික සංචිතයට ඇතුළත් අනෙක් ක්‍රීඩකයින් 10 දෙනා ද ජෛව ආරක්ෂිත බුබුලට එක්ව ඇත්තේ PCR වෛද්‍ය පරීක්ෂණවලින් ද සමත්වීමෙන් පසුවයි.

ලබන සතිය අවසානයේ දී ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතය ක්‍රීඩකයින් 22 දෙනෙකු දක්වා අවම කරනු ඇති.

ඔවුන් ජූනි 15 වනදා එංගලන්තය වෙත ළගා වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේ දී කුසල් පෙරේරා ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 යන කණ්ඩායම් දෙකේම නායකත්වය දරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සංචිතය සදහා ද දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නම් කර නැහැ.

කෙසේ වෙතත්, වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සංචිතයට නම් කර ඇති බව සදහන්.

චරිත් අසලංක, කමිල් මිෂාර, සධීර සමරවික්‍රම, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න වැනි ක්‍රීඩකයින් ද 28 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර ඇති අතර, කසුන් රාජිත ද ඊට කැදවා තිබෙනවා.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් බංග්ලාදේශ තරගාවලියට එක් වීමට අවස්ථාව අහිමි වූ අවිශ්ක ප්‍රනාන්දු මේ වන විට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇති බැවින් මෙම සංචිතයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වෙනු ඇති.

ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හී දී යි.

දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

20යි 20 තරග ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු තරග දෙකකට එක්වීමට නියමිතව ඇති අතර, එම තරග ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වීමට නියමිතයි.

නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා මූලික සංචිතය –

කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, අශේන් බණ්ඩාර, කමිල් මිෂාර, දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...