අකිලගේ සහ වනිදුගේ සුපිරි පන්දු යැවීම අපතේ යයි – කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්

Date:

අකිල ධනංජයගේ කඩුලු ත්‍රිත්වය සහ වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම අපතේ යවමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ දී කොදෙව් පිතිකරුවන් හයේ පහරවල් 13ක් එල්ල කළ අතර, ඊට කිරන් පොලාඩ් එක් පන්දුවාරයකදී පිට පිට එල්ල කළ හයේ පහර හය ද ඇතුළත්.

ඇන්ටිගුවාහි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක සහ අශේන් බණ්ඩාර ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර,  කොදෙව්වන් වෙනුවෙන් Kevin Sinclair ජාත්‍යන්තර වරම් හිමි කර ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව් ක්‍රීඩකයින්ගේ සුපිරි පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 4කට දැවී ගියා.

සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ Kevin Sinclair යොමු කළ පන්දුවක් හමුවේ කිරන් පොලාඩ් රැක ගත් සුපිරි උඩ පන්දු රැක ගැනීමක් හමුවේයි ධනුෂ්ක දැවී ගියේ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 34කින් ලකුණු 39ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 33(29)යි.

දික්වැල්ල සහ පැතුම් අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබදතාවයක් ගොඩ නැගුණු නමුත්, ඉන් අනතුරුව ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා.

වනිදු හසරංග ලකුණු 12ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 11ක් ලබා ගත් අතර, මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර ලකුණු 10යි.

පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකෝයි ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 13.1ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 20කින් ලකුණු 52ක් වාර්තා කළා.

කෙසේ වෙතත්, අනතුරුව ක්‍රියාත්මක වූ අකිල ධනංජය ඉනිමේ සිව්වන පන්දුවාරයේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි පන්දුවලදී පිට පිට කඩුලු දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලනු ලැබුවේ.

අකිල ධනංජය විසින් දවා ගනු ලැබුවේ එවින් ලුවිස්(28) , ක්‍රිස් ගේල්(0) සහ නිකලස් පූරාන්(0) යන ක්‍රීඩකයින්.

කෙසේ වෙතත්, ඉනිමේ හයවන පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ කිරන් පොලාඩ් විසින් අකිල ධනංජයට එරෙහිව පිට පිට හයේ පහර 6ක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්.

මීට පෙර ජාත්‍යන්තර තරගයක එක් පන්දුවාරයකදී හයේ පහර 6ක් එල්ල කිරිමට සමත්ව තිබුණේ හර්ෂල් ගිබ්ස් සහ යුවරාජ් සිං පමණයි.

කිරන් පොලාඩ් පන්දු 11කින් ලකුණු 38ක් රැස් කළ අතර, ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 29යි.

හෝල්ඩර් දවා ගැනීම සදහා ලද පහසු අවස්ථාවක් ශ්‍රී ලංකාවට අහිමි වී ගියේ අශේන් බණ්ඩාර අතින් උඩ පන්දුවක් ගිලිහී යාම හේතුවෙන්.

පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 62කට කඩුලු 3ක් සහ වනිදු හසරංග ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තා.

ALSO READ : මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට යළිත් සුබ ආරංචියක්

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජෙලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලැබුවේ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි දසුන් ශානකට වීසා ලබා ගැනීමේ ගැටලුවක් නිසා මෙතෙක් එරටට ළගා වීමට නොහැකි වී ඇති බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...