ශූරයින්ගේ කුසලානයට මොකද වෙන්නේ? ජේ ශාහ්ගේ ප්‍රධානීත්වයෙන් ICC රැස්වීමක් හෙට

Date:

2025 ශූරයින්ගේ කුසලානයට මොකද වෙන්නේ? මේ සම්බන්ධයෙන් තවමත් අවිනිශ්චිතතාවයක් පවතින අතර, පවතින ගැටලු සහගත තත්ත්වයට ස්ථීර විසදුමක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට මෙතෙක් හැකි වී නැහැ.

එවන් පසුබිමක හෙට(5) දිනයේදී යළිත් අයි.සී.සී රැස්වීමක් පැවැත්වීමට ඉඩ ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අයි.සී.සී රැස්වීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම්වරයා වූ ජේ ශාහ් අයි.සී.සී සභාපතිධූරයට පත් වීමෙන් පසුව පැවැත්වෙන පළමු අයි.සී.සී රැස්වීම වන අතර, අදාළ රැස්වීම ඔහුගේ ප්‍රධානීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ශූරයින්ගේ කුසලානය පිළිබද සාකච්ඡා කිරීම සදහා පසුගිය සිකුරදා දිනයේදී අයි.සී.සී රැස්වීමක් පැවැති අතර, එහිදී පාකිස්තානය දැරූ මතය වූයේ තරගාවලියේ සියලු තරග සිය රටේදීම පැවැත්වීමට අවශ්‍ය බවටයි. කෙසේවෙතත්, ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකිරීමට තීරණය කර ඇති බැවින් දෙමුහුන් ක්‍රමවේදය යටතේ (පාකිස්තානයේදී හා වෙනත් රටකදී තරග පැවැත්වෙන ක්‍රමවේදය) තරගාවලිය පැවැත්විය යුතු බවට සෙසු අයි.සී.සී සාමාජික රටවල් යෝජනා කර තිබුණා.

මීට පෙර අවස්ථා කිහිපයකදීම පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi දෙමුහුන් ක්‍රමවේදය යටතේ තරගාවලිය පැවැත්වීමට දැඩි ලෙස විරුද්ධ වූ නමුත්, මේ වන විට ඔවුන් සිය ස්ථාවරය තරමක් දුරට ලිහිල් කර ඇති බවක් දක්නට ලැබෙනවා. ඒ අනුව කොන්දේසි සහගතව දෙමුහුන් ක්‍රමවේදයට එකග වීමට පාකිස්තානය සූදානම් බවයි වාර්තා වන්නේ.

එහිදී ශූරයින්ගේ කුසලාන තරගාවලියේදී දෙමුහුන් ක්‍රමවේදය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීමට කටයුතු කරන නමුත්, ඉදිරියේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත සියලු අයි.සී.සී තරගාවලියන් සදහා ද දෙමුහුන් ක්‍රමවේදය යොදා ගත යුතු බව පාකිස්තානය පෙන්වා දෙනවා. ඒ අනුව එම තරගාවලි සදහා පාකිස්තානය ඉන්දියාවේ සංචාරය නොකරන අතර, ඔවුන් ක්‍රීඩා කරන සියලු තරග වෙනත් රටකදී පැවැත්විය යුතුයි.

මෙය ක්‍රියාවට නැංවිය යුතු බවට පාකිස්තානය ඉල්ලා ඇත්තේ ඉදිරි වසර 3 සදහා ද? 2031 වසර දක්වා ද? යන්න මෙතෙක් පැහැදිලි නැහැ. කෙසේ වෙතත්, ඊට එකග වන බවට ලිඛිත සහතිකයක් ඉන්දියාව විසින් පාකිස්තානයට ලබා දීමට අවශ්‍ය වනවා.

2025 කාන්තා එක්දින ලෝක කුසලානය, 2026 T20 ලෝක කුසලානය(ශ්‍රී ලංකාව සමගින්), 2029 ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලිය හා 2031 එක්දින ලෝක කුසලානය(බංග්ලදේශය සමගින්) ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතයි. අයි.සී.සී තරගාවලියක් නොවුන ද, 2025 ආසියානු කුසලාන තරගාවලිය ද පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේදීයි.

පාකිස්තානයේ මෙම තීරණයට ඉන්දියාව එකගතාවය පල කර ඇත්දැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසන් තීරණය ගනු ලබන්නේ ඉන්දීය රජයේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුවයි.

2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි – මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ තරග කාලසටහන ද නිවේදනය කිරීමට අයි.සී.සීය මෙතෙක් අසමත් වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...