ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද තමා ක්‍රීඩා කරන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක 40 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.
එමෙන්ම ඔහු එම වසරේ දී ද කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.
මෙම වසරේ තරගාවලිය ආරම්භ වන අවස්ථාවේ දී කණ්ඩායමේ නායකයා ලෙස රවීන්ද්‍ර ජඩේජා කටයුතු කළ අතර, මෙවර තරග වාරයේ දී චෙන්නායි කණ්ඩායම ඉහළ දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම නිසාත්, ක්‍රීඩකයෙකු ලෙස ජඩේජා එතරම් දක්ෂතා නොදැක්වූ නිසාත් තරගාවලිය අතරතුර දී ඔහු නායකත්වයෙන් ඉවත් වුණා.
අනතුරුවයි හිටපු නායක එම්.එස් දෝනි යළි නායකත්වයට පත් වුණේ.
ආබාධයකට ලක්වීම හේතුවෙන් ජඩේජාට මෙවර තරගාවලියේ ලීග් වටයේ අවසන් තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වුණා.
කෙසේ වෙතත්, ඔහු 2023 වසරේ පැවැත්වෙන තරගාවලියේ දී ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
ලබන තරග වාරය සදහා ද තමා ක්‍රීඩා කරන බව එම්.එස් දෝනි තහවුරු කර සිටියේ ඊයේ(20) රාත්‍රියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ආරම්භ වීමට පෙරයි.
චෙන්නායි ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කරමින් චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රේක්ෂකයින්ට ස්තූති කිරීමට තමාට අවශ්‍ය බව ඔහු එහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම ලබන වසරේ දී ඉන්දියාවේ ප්‍රදේශ රැසකදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට ඉඩ ඇති බැවින් ඉන්දියාව පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයින්ට ස්තූතිවන්ත වීමට තමාට අවස්ථාවක් ලැබෙනු ඇති බව දෝනි විශ්වාස කරනවා.
කොවිඩ් 19 අවධානම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වුණේ මුම්බායි හා පූනේ හී දී පමණයි.
“එය(2023) මගේ අවසාන වසර වේවිද නැද්ද යන්න විශාල ප්‍රශ්නයක්. මොකද වසර දෙකකට එහා දෙයක් ගැන අපිට අනාවැකි පල කරන්න බැහැ. නමුත් අනිවාර්යයෙන්ම ලබන වසරේ දී යළිත් ශක්තිමත්ව තරගාවලියට පිවිසීමට මම වෙහෙස වී කටයුතු කරනවා.” යනුවෙන් දෝනි කියා සිටියා.

