හෙට්මයර් හා චහල් රාජස්ථාන් කණ්ඩායම පළමු තැනට ගෙන එයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

ඔවුන් මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග 4න් තරග 3ක් ජය ගනිමිනුයි එලෙස ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව ඇත්තේ.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ දී රාජස්ථාන් පිල හමුවේ පරාජයට පත් වූයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. මෙම තරගය සදහා ලක්නව් කණ්ඩායම වෙනුවෙන් යළිත් දුෂ්මන්ත චමීර ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

ශිම්රන් හෙට්මයර් පන්දු 36කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 59ක්. හයේ පහර 6කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

දෙව්දත් පඩික්කල් ලකුණු 29ක් රැස් කළ අතර, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 28ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. (දර්ශන පහතින්)

අයි.පී.එල් තරගයකදී දැවී යාමකින් තොරව පිටියෙන් ඉවත් වීමට තීරණය කළ (ආබාධයක් නොමැතිව) පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 50කට කඩුලු 2ක් හා ක්‍රිෂ්නප්පා ගොව්තම් ලකුණු 30කට කඩුලු 2ක් බිද හෙලුවා.

දුෂ්මන්ත චමීරට කඩුලු දවා ගැනීමට නොහැකි වුව ද, ඔහු සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 22ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 162ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 2 පළමු නීත්‍යානුකූල පන්දු දෙකෙන්ම දැවී ගියා. ට්‍රෙන්ට් බෝල්ට් විසින් එම කඩුලු 2 දවා ගත් අතර, එහිදී දැවී ගියේ නායක කේ.එල් රාහුල් හා ක්‍රිෂ්නප්පා ගොව්තම්.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 39(32)ක් ලබා ගත්තා. දීපක් හූදා ලකුණු 25යි. කෘනාල් පාන්ඩ්යා ලකුණු 22කට දැවී ගියා.

මර්කස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 38(17) රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඇතුළත් වුණා.

දුෂ්මන්ත චමීර පන්දු 7කින් ලකුණු 13ක් රැස් කළේ හතරේ පහර 2ක් ද සමගින්.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චහල් ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තා. ඔහු අද දිනයේ දී සිය 150 වැනි අයි.පී.එල් කඩුල්ල ද දවා ගැනීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...