සුපුරුදු ලෙස මැද පෙල යළි ශ්‍රී ලංකාව අන්ත අසරණ කරයි ; ඉන්දියාවට 3-0 ක පූර්ණ තරගාවලි ජයක්

Date:

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් දැක් වූ ප්‍රාථමික මට්ටමේ ක්‍රීඩිවිලාශය හමුවේ ජය ගත හැකිව තිබූ ඉන්දියාවට එරෙහි තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය ද සුපිරි පන්දුවාරයේ දී පරාජයකින් කෙළවර කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අගහරුවාදා (30) රාත්‍රියේ සිදු වුණා.

පළමු තරග දෙකේ දී මෙන්ම මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මැද පෙල කඩා වැටීමක් සිදු වූ අතර, ඒ අනුව මැද පෙල හා පසුපෙල කඩුලු 7 ක් ලකුණු 22 ක් තුළ දැවී ගියේ පන්දු 25 ක් තුළදීයි.

එම කඩා වැටීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ආරම්භ කිරීමට සිදු වූයේ නියමිත කාලයට වඩා පැයක ප්‍රමාදයකින් පසුවයි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 137 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

© AFP/Getty Images

සුන්දර්ගේ සුපිරි පන්දුවාරය

සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු දෙකම පන්දු 4 ක් තුළ ලකුණු දෙකකට දැවී ගිය අතර, පිළිතුරු ලෙස ඉන්දියාව පළමු පන්දුවෙන්ම ජයග්‍රහනය තහවුරු කර ගත්තේ මහීෂ් තීක්ෂණට එරෙහිව සූර්යකුමාර් යාදව් එල්ල කළ හතරේ පහරක් සමගින්.

සුපිරි පන්දුවාරයේ දී කුසල් පෙරේරා හා පැතුම් නිස්සංක ඔවුන් මුහුණ දුන් පළමු පන්දුවලින්ම දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණක් රැස් කළා.

වොෂින්ටන් සුන්දර් යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දුව වයිඩ් පන්දුවක් වූ බැවින් ශ්‍රී ලංකාවට අතිරේක ලකුණක් හිමි වුණා.

මුල් පෙල යළි ලකුණු අතරට

පිතිකරණයේ නිරත වීමට තරමක් අසීරු වූ පල්ලේකැලේ තණතීරුවේ ලකුණු 138 ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලට සුපුරුදු පරිදි මුල් පෙල පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක් හිමි වුණා. පැතුම් නිස්සංක ලකුණු 26 (පන්දු 27) කට දැවී ගිය අතර, අනතුරුව කුසල් මෙන්ඩිස් හා කුසල් පෙරේරා දෙවැනි කඩුල්ලට ලකුණු 52 (39) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

© Associated Press

කුසල් මෙන්ඩිස් ලකුණු 43(41) කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ පන්දුවාර 15.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 110 ක් ලෙසයි.

මැද පෙල යළි කඩා වැටීම

නමුත්, අනතුරුව වනිදු හසරංග අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 3 කට දැවී ගිය අතර, නායක චරිත් අසලංක පළමු පන්දුවෙන්ම දැවී ගියා. කුසල් පෙරේරා පන්දු 34 කින් ලකුණු 46 ක් ලබා ගත් අතර, නම් දැරූ පිතිකරුවන් ලෙස කමිදු මෙන්ඩිස් හා චමිදු වික්‍රමසිංහ රැදී සිටියදී අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 3 ක් පමණයි.

අවසන් පන්දුවාර දෙකේ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 9ක් අවශ්‍ය වූ අතර, 19 වැනි පන්දුවාරය යොමු කළ රින්කු සිං කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කළා.

සූර්යකුමාර්ගේ මංගල පන්දුවාරය

ඒ අනුව ඉනිමේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු හයක් අවශ්‍ය වුණා. එම පන්දුවාරය යොමු කළේ නායක සූර්යකුමාර් යාදව් විසින්. ඒ, ඔහු මෙතෙක් ක්‍රීඩා කළ කිසිදු විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී කිසිදු පන්දුවක් යවා නොමැති පසුබිමකයි.

නමුත්, ඉතා විශිෂ්ඨ ලෙස එම පන්දුවාරය යොමු කළ සූර්යකුමාර් විසින් කමිදු මෙන්ඩිස් එක් ලකුණකටත්, මහීෂ් තීක්ෂණ ලකුණු බින්දුවකටත් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත්, මෙම තරගයේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 4(2) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම සුපිරි පන්දුවාරයක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී සූර්යකුමාර් යාදව්, වොෂින්ටන් සුන්දර්, රින්කු සිං හා රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඉන්දීය මුල් පෙල අසාර්ථක වෙයි

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 48 ක් තුළ බිද වැටුණා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 39(37) ක් රැස් කළ ෂුබ්මන් ගිල්. රියාන් පරාග් ලකුණු 26 ක් හා වොෂින්ටන් සුන්දර් ලකුණු 25 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 28 ක් ලබා දෙමින්. වනිදු හසරංග ලකුණු 29 කට කඩුලු දෙකක් දවා ගත් අතර, චමිදු වික්‍රමසිංහ ලකුණු 17 කට කඩුල්ලක් දවා ගත්තා. අසිත ප්‍රනාන්දු හා රමේෂ් මෙන්ඩිස් අතරේ ද කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...