ස්මිත්ගේ ශතකය හා බෝලන්ඩ්ගේ කඩුලු දෙක හමුවේ තරගයේ පාලනය ඔස්‍ට්‍රේලියාවට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(27) මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී නිමා වුණේ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාව දෙසට නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියා. ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 474 ට පිළිතුරු ලෙසයි.

අද දිනය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටි අතර, ස්ටීවන් ස්මිත් රැස් කළ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින් ඔවුන් ලකුණු 450 සීමාව ද පසු කර යාමට සමත් වුණා. නායක පැට් කමින්ස් ලකුණු 49 ක් ලබා ගනිමින් ඔහුට අනගි සහායක් ලබා දුන්නේ 7 වැනි කඩුල්ලට ලකුණු 112 ක සම්බන්ධතාවයක් ද ගොඩ නගමින්.

ස්මිත් ලකුණු 140 (197) ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 13 ක් සමගින්. සෑම් කොන්ස්ටස් ලකුණු 60 ක්, උස්මාන් කවාජා ලකුණු 57 ක් හා මර්නස් ලබුෂේන් ලකුණු 72 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 99 කට කඩුලු 4 ක් දවා ගත් අතර, රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් හා ආකාශ් දීප් කඩුලු 2 ක් බිද හෙලුවා.

පසුගිය තරග දෙකේදී මැද පෙල පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදුන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා ඉන්දීය පළමු ඉනිමේ දී ආරම්භක පිතිකරුවෙකු පිටියට පිවිසි නමුත්, ඔහු ලකුණු 3 කට දැවී ගියා. අංක 3 පිතිකරු වූ කේ එල් රාහුල් ලකුණු 24 යි. එම කඩුලු දෙකම දවා ගත්තේ පැට් කමින්ස් විසිනුයි.

අනතුරුව යශස්වි ජයිස්වාල් සමග පිටියේ එක් වූ විරාත් කෝලි තෙවැනි කඩුල්ලට ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ නමුත්, ජයිස්වාල් ලකුණු 82 කට දුවද්දී දැවී යාමත් සමග තරගයේ පාලනය ඔස්ට්‍රේලියාව දෙසට නතු වීම ආරම්භ වුණා.

කෝලි ලකුණු 36 කට දවා ගැනීමට ස්කොට් බෝලන්ඩ් සමත් වූ අතර, පසුව ඔහු විසින්ම ආකාශ් දීප්ගේ (ලකුණු 0) කඩුල්ල ද දවා ගත්තා.

මේ වන විට ඉන්දියාව පළමු ඉනිමේදී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 310 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...