ශ්‍රී ලංකාව සනසමින් ඇෆ්ඝනිස්තාන පිල බංග්ලාදේශය පරදයි

Date:

නජිබුල්ලාහ් සඩ්රාන්ගේ සුපිරි ප්‍රහාරය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(30) සමත් වුණා.

සාජා හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ඇෆ්ඝනිස්තානයට ලකුණු 128 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී පසු කර ගියා.

ඇෆ්ඝනිස්තාන ඉනිම ආරම්භයේ සිටම ප්‍රබල අභියෝගයක් ඔවුන්ට එල්ල කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 11 කට දැවී ගිය අතර, හස්රටුල්ලාහ් සසායි ලකුණු 23යි. මොහමඩ් නබී රැස් කළේ ලකුණු 8ක් පමණයි.

කෙසේ වෙතත්, මන්දගාමීව ඇදෙමින් තිබූ ඇෆ්ඝනිස්තාන ඉනිමට සුපිරි අවසානයක් ගෙන එමින් විශිෂ්ඨ ජයක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට නජිබුල්ලාහ් සඩ්රාන් හා ඊබ්‍රහීම් සඩ්රාන් සමත් වුණා.

නජිබුල්ලාහ් පන්දු 17 ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 43 ක් නොදැවී රැස් කළේ හයේ පහර 6 කින් හා හතරේ පහරකින් සිය ඉනිම වර්ණවත් කරමින්.

ඊබ්‍රහීම් සඩ්රාන් නොදැවී ලකුණු 42(41) යි. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල සදහා පන්දු 33 කින් ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 69 ක්.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන්, මොසඩැක් හොසේන් හා මොහමඩ් සයිෆුදීන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට බංග්ලාදේශ මුල් පෙල පිතිකරුවන්ට හැකි වූයේ නැහැ.

මොහමඩ් නයීම් ලකුණු 6 කටත්, අනමුල් හක් ලකුණු 5 කටත්, නායක ශකිබ් අල් හසාන් ලකුණු 11 කටත් දවා ගැනීමට මුජිබ් උර් රහ්මාන් සමත් වුණා.

මුෂ්ෆිකර් රහීම් එක් ලකුණකට දැවී ගිය අතර, අෆිෆ් හොසේන් ලකුණු 12 කට දැවී ගියා. මහ්මුදුල්ලාහ් ලකුණු 25(27) ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිමට යම් ශක්තියක් එක් කළා. එම කඩුලු තුනම දවා ගත්තේ රෂීඩ් ඛාන් විසින්.

මොසඩැක් හොසේන් පන්දු 31 කින් නොදැවී ලකුණු 48 ක් වාර්තා කරමින් බංග්ලාදේශය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. මහෙදි හසාන් ලකුණු 14(12)යි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 127 ක් ලබා ගනිමින්.

මෙම ජයත් සමග ඇෆ්ඝනිස්තානය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එළඹෙන පළමු වැනිදා ඩුබායි හී දී පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද ‘B’ කාණ්ඩයෙන් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගන්නා අතර, ඉන් පරාජයට පත් වන කණ්ඩායමට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වනවා.

අද තරගයෙන් බංග්ලාදේශය ජය ගත්තේනම් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව බොහෝ දුරට අහිමි වීමේ අවධානමක් මතුව තිබුණා.

ඒ, ශ්‍රී ලංකාව පළමු තරගයේ දී ඇෆ්ඝනිස්තානය හමුවේ ලැබූ අන්ත පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉතා දුර්වල මට්ටමක (සෘණ 5.176) පවතින බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...