ශ්‍රී ලංකාව ලකුණු 312ක් පිටුපසින් – Day 3 Report

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(23) නිමා වුණේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 229ක්.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 114ක සබදතාවයක් ගොඩ නැගීමට නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න සමත් වුණා.

මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා අඛණ්ඩව වාර්තා වූ දෙවැනි ශතක සබදතාවය වන අතර, මීට පෙර මෙලෙස පිතිකරුවන් දෙදෙනෙකු අඛණ්ඩ ශතක සබදතා ද්විත්වයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා වාර්තා කර තිබුණේ මීට වසර 16කට පෙරයි.

පසුගිය තරග කිහිපයේ දී ම ලකුණු අතරේ රැදී සිටි තිරිමාන්න මෙම ඉනිමේ දී සිය 10 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 58කට දැවී ගියා.

අනතුරුව ඕෂද ප්‍රනාන්දු ලකුණු 20කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 25කටත් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 85ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ සිය 26 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින්.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 26යි.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ්, මෙහිදි හසාන් මිරාස් සහ ටයිජුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 312ක්.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ නජ්මුල් හුසේන් ශන්ටො ලකුණු 163ක් සහ නායක මොමිනුල් හක් සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 127ක් ලබා ගත්තා.

ටමිම් ඉක්බාල් ලකුණු 90යි.

මුෂ්ෆිකර් රහීම් සිය 23 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 68ක් රැස් කළ අතර, සිය 8 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ලිටොන් දාස් ලකුණු 50කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තා.

ළහිරු කුමාර, සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර අද දිනයේ දී කිසිදු පන්දුවාරයක් නොයැවූ අතර, ඔහු පාදයක ආබාධයකට ලක්ව ඇති බවටයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...