ශතක 4 ක් සමග පළමු දිනයේ දී එංගලන්තයෙන් ලෝක වාර්තා රැසක්

Date:

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයක පළමු දිනයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට එංගලන්තය අද(1) සමත් වුණා.

ඒ, පාකිස්තාන තරග සංචාරය ආරම්භ කරමින් අද රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී යි.

මෙම තරගය අද දිනයේ දී ආරම්භ කිරීම අද පෙරවරුව වන තෙක්ම අවිනිශ්චිත වී තිබුණේ එංගලන්ත සංචිතයට සම්බන්ධ සාමාජිකයින් 14 දෙනෙකු වමනය හා පාචනය යන රෝග ලක්ෂණ සහිතව වෛරස් උණ රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටි බැවින්.

කෙසේ වෙතත්, තරගය සදහා ක්‍රීඩකයින් 11 දෙනෙකු ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දීමත් සමග තරගය සැලසුම් කළ පරිදි ආරම්භ කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පළමු දිනය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පන්දුවාර 75 කට පමණක් සීමා වූ නමුත්, එහිදී එංගලන්ත පිතිකරුවන් කඩුලු 4 ක් දැවී ලකුණු 506 ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. එය ටෙස්ට් තරගයක පළමු දිනයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එංගලන්ත පිතිකරුවන් 4 දෙනෙකු අද දිනයේ දී ශතක වාර්තා කළා. ටෙස්ට් තරගයක පළමු දිනයේ දී ශතක 4 ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව සැක් ක්‍රව්ලි ලකුණු 122 (111) ක් ද, බෙන් ඩකට් ලකුණු 107(110) ක් ද, ඔලී පෝප් ලකුණු 108 (104) ක් ද රැස් කළ අතර, හැරී බෘෘක් නොදැවී ලකුණු 101 (81) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. නායක බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 34(15) යි.

හැරී බෘක් විසින් Saud Shakee යොමු කළ පන්දුවාරයකදී පිට පිට හතරේ පහර 6 ක් වාර්තා කිරීම ද කැපී පෙනුණා.(දර්ශන පහතින්)

අද දිනයේ දී දැවී ගිය පිතිකරුවන් අතරින් ශතකයක් වාර්තා කිරීමට නොහැකි වූයේ ජෝ රූට් හට පමණයි. ඔහු ලකුණු 23 කට දැවී ගියා.

අද දිනයේ ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ලකුණු 174 ක් ද, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ලකුණු 158 ක් ද, තේ පානයේ සිට අද දිනයට තරගය නතර කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී යළි ලකුණු 174 ක් ද වාර්තා වුණා. අවසන් ලකුණු 174 වාර්තා වූයේ පන්දුවාර 21 ක් තුළයි.

දිවා ආහාරය දක්වා වූ කාලයේ දී රැස් කළ ලකුණු 174 වාර්තා අතරට එක් වුණේ ටෙස්ට් තරගයක පළමු සැසිය තුළ දී කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එංගලන්ත ඉනිමේ ආරම්භ කඩුල්ල සදහා සැක් ක්‍රව්ලි හා බෙන් ඩකට් අතර ලකුණු 233 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ඔවුන් දෙදෙනා අතර ද්විත්ව ශතක සබදතාවය වාර්තා වූයේ පන්දුවාර 30.1 ක් තුළදීයි. එය ටෙස්ට් ඉතිහාසයේ දී වාර්තා වූ වේගවත්ම ද්විත්ව ශතක සබදතාවයයි.

සැක් ක්‍රව්ලි සිය ශතකය පන්දු 86 කින් වාර්තා කළ අතර, එය වාර්තා අතරට එක් වුණේ එංගලන්ත ආරම්භක පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ටෙස්ට් ශතකය ලෙසයි.

පන්දු යැවීමේ දී සහිද් මහ්මූද් කඩුලු 2 ක් දවා ගත් අතර, මොහමඩ් අලී හා හැරිස් රවුෆ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...