වසර 9කට පසු මෙරට දී ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්

Date:

ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස නිමා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 3ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ශිකර් ධවාන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉන්දීය ඉනිමේ 23 වන පන්දුවාරය අවසන් වීමෙන් අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට ඉන්දියාව කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 147ක්.

අනතුරුව තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කරමින් තරගය යළි ආරම්භ වූ අතර, ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 43.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 225ක් පමණයි.

ප්‍රිත්වි ෂෝ ලකුණු 49ක්, සංජු සැම්සන් ලකුණු 46ක් හා සූර්යකුමාර් යාදෙව් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය හා ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත් ලකුණු 76න් සවිමත් වෙමින්.

පළමු කඩුල්ල ලෙස මිනෝද් භානුක ලකුණු 7කට දැවී ගිය අතර, අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු හා භානුක රාජපක්ෂ අතර ලකුණු 109ක සබදතාවයක් ගොඩ නැගුණා.

මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ භානුක ලකුණු 65කට දැවී ගියා. චරිත් අසලංක ලකුණු 24යි.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් කඩුලු 3ක් හා චේටන් සාකරියා කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා සූර්යකුමාර් යාදෙව්.

මෙය 2012 වසරේ ජූලි 24 වනදායි පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව මෙරට දී වාර්තා කළ පළමු එක්දින තරග ජය වීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අනිද්දා(25) ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...