ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිළධාරී Geoff Allardice පවසනවා.
තරගාවලිය ආරම්භ වීමට තවත් මාස 4ක පමණ කාලයක් ඉතිරිව ඇතත්, තරගාවලිය පැවැත්වෙන දින, ක්‍රීඩාංගන පිළිබද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මෙතෙක් නිවේදනය කර නැහැ.
2019 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන තරගාවලිය ආරම්භ වීමට මාස 13 කට පමණ පෙර නිවේදනය කර තිබූ අතර, 2015 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන තරගාවලිය ආරම්භ වීමට මාස 18 කට පමණ පෙර නිවේදනය කර තිබුණා.
කෙසේ වෙතත්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කිරීමට මෙතෙක් ජගත් ක්‍රිකට් කවුන්සලයට හැකි වී නැහැ.
කෙසේ වෙතත්, තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වීමට ඉඩ ඇති බවටයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.
තරග කාලසටහන මේ දිනවල පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය අතරතුර දී ප්‍රකාශයට පත් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් මෑතකදී සදහන් කළා.
නමුත්, අයි.සී.සී ප්‍රධාන විධායක නිළධාරී Geoff Allardice ට BBC සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සදහන් කර තිබූ ආකාරයට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය අතරතුර දී කාලසටහන එළිදැක්වීමට නොහැකි වනු ඇති.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තරග කාලසටහන ලැබීමෙන් පසුව කණ්ඩායම් සමග හා විකාශකයින් සමග සාකච්ඡා පවත්වා කාලසටහන නිවේදනය කරන බවයි ඔහු කියා සිටියේ.
ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට තරග කාලසටහන ලබන සතිය වනතුරු ප්‍රසිද්ධියට පත් නොකරනු ඇති.

