සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස් හී Headingley ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ (26) රාත්‍රියේ නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු එංගලන්තයට හිමි කර දෙමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 296ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 183ක්.
ඔලී පෝප් නොදැවී ලකුණු 81ක් හා ජෝ රූට් නොදැවී ලකුණු 55ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 132ක්.
ඇලෙක්ස් ලීස් ලකුණු 9කට දුවද්දී දැවී ගිය අතර, සැක් ක්‍රව්ලි ලකුණු 25කට දැවී ගියේ මයිකල් බ්‍රේස්වෙල්ගේ පන්දුවක් හමුවේයි.
ඒ අනුව අද දිනයේ දී එංගලන්තය තරගය ජය ගැනීම සදහා තවත් ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව 113ක්.
සිව්වැනි දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326ක්. ටොම් ලේතම් ලකුණු 76 ක් රැස් කළ අතර, නායක කේන් විලියම්සන් ලකුණු 48යි.
6 වැනි කඩුල්ල සදහා යළිත් සාර්ථක සබදතාවයක් ගොඩ නැගූ ඩැරල් මිචෙල් හා ටොම් බ්ලන්ඩල් පිළිවෙලින් ලකුණු 56ක් හා නොදැවී ලකුණු 88ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 113ක්.
පන්දු යැවීමේ දී ජැක් ලීච් ලකුණු 66කට කඩුලු 5ක් දවා ගත්තා. මැතිව් පොට්ස් ලකුණු 66කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 329ක්. ඩැරල් මිචෙල් සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 109ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජැක් ලීච් ලකුණු 100කට කඩුලු 5ක් බිද හෙලුවා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 360ක් ලබා ගත්තා. ඒ, එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 55 දී බිද වැටුණු පසුබිමකයි. අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ජොනී බෙයාර්ස්ටව් සමග පිටියේ එක් වූ ජෙමී ඕවර්ටන් ලකුණු 241 (274) ක සබදතාවයක් ගොඩ නගමින් එංගලන්ත කණ්ඩායම යළි සටනට අවතීර්ණ කළා. බෙයාර්ස්ටව් ලකුණු 162ක් ලබා ගත්තේ පන්දු 157කින්. සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඕවර්ටන් ලකුණු 97ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් ද, ටිම් සවුති කඩුලු 3ක් ද, නෙයිල් වෑග්නර් කඩුලු 2ක් ද දවා ගත්තා.
තරගාවලියේ පළමු තරග 2 ජය ගත් එංගලන්තය මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.
Joe Root. You are ridiculous.
Scorecard/clips: https://t.co/AIVHwaRwQv
🏴 #ENGvNZ 🇳🇿 pic.twitter.com/0YIhsZ5T04
— England Cricket (@englandcricket) June 26, 2022

