මලාන් හා ශම්සිගේ සුපිරි දක්ෂතා හමුවේ අසලංකගේ සටන අපතේ යයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 67ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද(4) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමටයි තීරණය කෙරුණේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 47 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කරමින්.

සිය තෙවැනි එක්දින ශතකය වාර්තා කරමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළ ජෙනමන් මලාන් ලකුණු 121(135)ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්.

රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 51ක් හා හෙන්රිච් ක්ලාසීන් පන්දු 27කින් වේගවත් ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර හා චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට පන්දුවාර 41කදී ලකුණු 265ක ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට පන්දුවාර 36.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197ක් පමණයි.

පළමු කඩුලු 3 ලකුණු 19කට දැවී ගියා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 8කටත්, මිනෝද් භානුක ලකුණු 7කටත්, භානුක රාජපක්ෂ ලකුණු නොලබාත් දැවී ගියේ තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට නතු කරමින්.

සටන්කාමී නිර්භය ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 69කදී ලකුණු 77ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්.

නායක දසුන් ශානක ලකුණු 30කට දැවී ගිය අතර, චාමික කරුණාරත්න පන්දු 23කදී ලකුණු 36ක් ලබා ගත්තා. චාමිකගේ ඉනිමට හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් ඇතුළත්.

එක්දින තරගයක සිය හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ටැබ්රයිස් ශම්සි ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත්තා. කාගිසෝ රබාඩා බිද හෙලූ කඩුලු ගණන 2ක්.

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය ලබන 7 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...