දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 123 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ද ඔස්ට්‍රේලියාව මේ වන විට සමත්ව සිටිනවා.
Bloemfontein හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 392 ක්. එය එක්දින ඉතිහාසයේ දී ඉනිමකදී ඔස්ට්‍රේලියාව වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
මර්නස් ලබුෂේන් ලකුණු 124 ක් රැස් කළේ පන්දු 99 කින්. හයේ පහරක් හා හතරේ පහර 19 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
සිය 20 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ ඩේවිඩ් වෝනර් ලකුණු 106(93) ක් ලබා ගත්තා. හයේ පහර 3 කින් හා හතරේ පහර 12 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 64 ක් ද, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 50 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි ලකුණු 61 කට කඩුලු 4 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 41.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 269 ක් පමණයි.
ඩේවිඩ් මිලර් හා හෙන්රික් ක්ලාසන් ලකුණු 49 බැගින් රැස් කළා. ටෙම්බා බවුමා ලකුණු 46 යි. ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 45 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ඇඩම් සම්පා කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 48 ක් ලබා දෙමින්.

