නෙදර්ලන්තය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(21) සමත් වුණා.
ඒ, බාබර් අසාම්ගේ ලකුණු 91 න් හා නසීම් ශාහ් දවා ගත් කඩුලු පහෙන් ශක්තිමත් වෙමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානය ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.
Rotterdam හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 206 ක්.
ෆකාර් සමාන් ලකුණු 26ක්, අගා සල්මාන් ලකුණු 24ක් හා මොහමඩ් නවාස් ලකුණු 27ක් රැස් කරමින් යම් සාර්ථක ආරම්භයක් සිය ඉනිම්වලට ලබා ගත්ත ද ඔවුන්ට දිගු ඉනිමක් කරා සිය ඉනිම පරිවර්තනය කිරීමට හැකි වූයේ නැහැ.
කෙසේ වෙතත්, නායක බාබර් අසාම් පන්දු 125 කින් ලකුණු 91 ක් ලබා ගනිමින් පාකිස්තානය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7 ක් ද සමගින්.
පන්දු යැවීමේ දී Bas de Leede කඩුලු 3 ක් ද, Vivian Kingma කඩුලු 2ක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.
Tom Cooper ලකුණු 62 ක් හා Vikramjit Singh ලකුණු 50 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී නසීම් ශාහ් ලකුණු 33 කට කඩුලු 5ක් බිද හෙලූ අතර, මොහමඩ් වසීම් ලකුණු 36 කට කඩුලු 4 ක් දවා ගත්තා.

