බබාර්ගෙන් සටන්කාමී ශතකයක් ; ශ්‍රී ලංකාව ලකුණු 40 ක් ඉදිරියෙන්

Date:

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (17) නිමා වුණේ පාකිස්තාන නායක බබාර් අසාම්ගේ සුපිරි ශතකය හේතුවෙන් දිනයේ ගෞරව කණ්ඩායම් දෙකටම සමව හිමි කර දෙමින්.

තරගය අද දිනය සදහා නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු 16 කට දවා ගැනීමට මොහමඩ් නවාස් සමත් වුණා. ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 17 ක් හා කසුන් රාජිත නොදැවී ලකුණු 3ක් ලබා කඩුල්ලේ රැදි සිටිනවා.

තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24 ක්. ඔවුන් සියලු දෙනා දැවී අද දිනයේ දී ලකුණු 218 ක් ලබා ගත්තා.

පාකිස්තාන ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 148 දී බිද වැටුණු පසුබිමකයි ඔවුන් එම ලකුණු සංඛ්‍යාව කරා රැගෙන යාමට නායක බබාර් අසාම් සමත් වුණේ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බබාර් සිය 7 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 119 ක් ලබා ගත්තා. පන්දු 244 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් ඇතුළත්.

ඔහු හා නසීම් ශාහ් අතර අවසන් කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 70 (185) ක්. නසීම් නොදැවී ලකුණු 5යි.

මොහමඩ් රිස්වාන් ලකුණු 19ක්, යසීර් ශාහ් ලකුණු 18ක්, හසන් අලී ලකුණු 17ක් හා ආරම්භක පිතිකරු අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 13ක් රැස් කළා.

ඉමාම් උල් හක් ලකුණු 2කටත්, අසාර් අලී ලකුණු 3කටත්, සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන අගා සල්මාන් ලකුණු 5කටත්, මොහමඩ් නවාස් ලකුණු 5කටත් දැවී ගියා. ශහීන් ශාහ් අෆිරිඩිට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ.

මෙම තරගයේ දී ද විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ප්‍රභාත් ජයසූරිය ලකුණු 82 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත්ව වුණා. ඒ අනුව ඔහු මේ වන විට ටෙස්ට් පිටියේ දී ක්‍රීඩා කර ඇති ඉනිම් තුනේ දී කඩුලු 17 ක් දවා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

රමේෂ් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගත් අතර, කසුන් රාජිත එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 40 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...