බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ශොහිදුල් ඉස්ලාම්ට මාස 10 ක තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.
ඒ, අයි.සී.සී තහනම් උත්තේජක නීති සංග්‍රහයේ 2.1 වගන්තිය උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන්.
එක් පන්දුවාර 20යි 20 තරගයකදී බංග්ලාදේශය නියෝජනය කර ඇති 27 හැවිරිදි ශොහිදුල් ඉස්ලාම් සිය වරද පිළිගැනීමත් සමග මෙලෙස මාස 10 ක තහනමක් පනවා ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
පසුගිය මැයි 28 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම තහනම නියම කර ඇති අතර, ඒ අනුව ඔහුට 2023 වසරේ මාර්තු 28 වනදා සිට යළි ක්‍රිකට් පිටියට පිවිසිය හැකියි.
තරගවලින් බැහැර අයි.සී.සී පරීක්ෂණ වැඩසටහනක් යටතේ ඔහුගෙන් ලබා ගත් මුත්‍රා සාම්පලයක Clomifene නම් තහනම් උත්තේජකය තිබී ඇති බවට තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙය ශොහිදුල් ඉස්ලාම් විසින් සිතාමතාම දක්ෂතා වර්ධනය කර ගැනීමේ අරමුණින් භාවිතා කර නොමැති බවත්, ඖෂධයක් ඔස්සේ ඔහු නොදැනුවත්වම එය ශරීරගත වී ඇති බවත් අයි.සී.සීය සදහන් කළා.

