පැතුම්ගේ හුදෙකලා සටන අපතේ යවමින් ෆර්ගසන්ගේ කඩුලු ත්‍රිත්වයෙන් නවසීලන්තය තරගාවලිය සම කරයි

Date:

පැතුම් නිස්සංකගේ සටන්කාමී අර්ධ ශතකය අපතේ යවමින් නවසීලන්තය සමග පැවැති දෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු පහක තියුණු පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(10) සිදු වුණා.

ඒ අනුව තරග දෙකක් ඇතුළත් විස්සයි 20 තරගාවලියකින් පළමු වරට නවසීලන්තය පරදා තරග 2-0 ක් ලෙස තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාවක් අද ගිලිහී ගිය අතර, තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙනුයි අවසන් වුණේ.

මීට පෙර 2013 වසරේ පැවැති තරග දෙකකින් යුත් විස්සයි 20 තරගාවලියකින් ශ්‍රී ලංකාව තරග 1-0 ක් ලෙස ජය ගැනීමට සමත්ව තිබූ අතර, එම තරගාවලියේ එක් තරගයක් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදුව තිබුණා. එය හැරුණු විට වෙනත් කිසිදු ද්විපාර්ශ්වික විස්සයි 20 තරගාවලිකින් නවසීලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව නැහැ.

දඹුල්ලේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට දුන් නවසීලන්තය පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 108 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ සියලු දෙනා පන්දුවාර 19.5 ක් තුළදී ලකුණු 103 කට සීමා කිරීමට නවසීලන්තය සමත් වුණා. ඒ අනුව නවසීලන්තය ලකුණු 108 ක් ආරක්ෂා කරමින් ලැබූ මෙම ජයග්‍රහනය ඉතිහාසගත වුණේ විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ දී කණ්ඩායමක් තරගයක් ජය ගැනීමට සාර්ථක ලෙස ආරක්ෂා කර ගත් තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි කඩුලු පිට පිට පන්දු තුනකදී (පන්දුවාර දෙකකදී) දවා ගනිමින් ලොකී ෆර්ගසන් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලමින් ශ්‍රී ලංකා හඹා යාම සම්පූර්ණයෙන්ම අඩපන කළා. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ කුසල් පෙරේරා (ලකුණු 3), කමිදු මෙන්ඩිස් (ලකුණු 1) හා චරිත් අසලංක (ලකුණු 0) යන පිතිකරුවන්. 6 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී, 8 වැනි පන්දුවාරයේ පළමු හා දෙවැනි පන්දුවලදී එම කඩුලු 3 දැවී ගියා.

භානුක රාජපක්ෂ ලකුණු 15 කට දැවී ගිය අතර, හුදෙකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 52 ක් රැස් කළේ පන්දු 51 කින්. හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පැතුම් තරගයේ අවසන් පන්දුවාරයේ දී දැවී ගියේ ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන් කරමින්. මහීෂ් තීක්ෂණ ලකුණු 14 යි.

ග්ලේන් පිලිප්ස් යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 8 ක් අවශ්‍ය වූ නමුත්, පැතුම් නිස්සංක, මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ එම පන්දුවාරයේ දී දැවී යාමත් සමග ශ්‍රී ලංකාවට තරගාවලිය ජය ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියා.

පන්දු යැවීමේ ලොකී ෆර්ගසන් පන්දුවාර 2ක් යොමු කරමින් ලකුණු 7 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ග්ලේන් පිලිප්ස් පන්දුවාර 1.5 ක් යොමු කරමින් ලකුණු 6 කට කඩුලු 3 ක් දවා ගත්තා. මයිකල් බ්‍රේස්වෙල් ද කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ විල් යන්ග්. ඔහු ලකුණු 30 ක් රැස් කළ අතර, ජොෂ් ක්ලාර්ක්සන් ලකුණු 24 ක් හා නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 19 ක් ලබා ගත්තා.

නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවෙන්ම ටිම් රොබින්සන් දවා ගැනීමට නුවන් තුෂාර සමත් වීම කැපී පෙනුණා. තුෂාර මෙම තරගයේ දී ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 17 කට බිද හෙලූ කඩුලු ගණන 4 ක්. ඒ, ඔහු තරගය අතරතුර දී පාදයක ආබාධයකට ද ලක්වූ පසුබිමකයි. මතිෂ පතිරණ ලකුණු 11 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...