පැතුම්ගේ ශතකය හා අසලංකගේ 91 ශ්‍රී ලංකාව තරගාවලියේ සම තැනට ගෙන යයි

Date:

පැතුම් නිස්සංක වාර්තා කළ සටන්කාමී ශතකය හා චරිත් අසලංකගේ අනර්ඝ ඉනිම හමුවේ බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු තුනක ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද(15) සමත් වුණා.

චිතගොං හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 287 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 47.1 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 43 ක් තුළ දැවී ගිය පසුබිමක සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 185 (පන්දු 183 කින්) ක වාර්තාගත සම්බන්ධතාවයක් පිහිටුවීමට පැතුම් හා අසලංක සමත් වුණා. එය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොදම සම්බන්ධතාවයයි.

පැතුම් පන්දු 113 කින් ලකුණු 114 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 13 ක් සමගින්. අසලංක ලකුණු 91(93)යි. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනාගේ දැවී යාම්වලින් පසුව ශ්‍රී ලංකා හඹා යාමට දැඩී තර්ජනයක් එල්ල කිරීමට බංග්ලාදේශය සමත් වූ නමුත්, වනිදු හසරංග ලකුණු 25 ක් හා දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 15 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ජනිත් ලියනගේ ලකුණු 9කට දැවී ගියා. පැතුම් සමග ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 16යි. සධීර සමරවික්‍රම රැස් කළේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී ශොරිෆුුල් ඉස්ලාම් හා ටස්කින් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 286 ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ලිටොන් දාස් පළමු පන්දුවාරයෙන්ම ලකුණු නොලබා සිටියදී යළි දවා ගැනීමට ඩිල්ෂාන් මදුෂංක සමත් වුණා. අනතුරුව දෙවැනි පන්දුවාරයේ දී නායක නජ්මුල් හොසේන් ශන්තෝ දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථා දෙකක් ලද නමුත්, ඒවා සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ.

ප්‍රමෝද් මදුෂාන් යොමු කළ එම පන්දුවාරයේ දී නජ්මුල් ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප් ක්‍රීඩකයා අතින් ගිලිහී ගිය අතර, අනතුරුව කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට ඔහු උඩ පන්දුවක් ලබා දුන් නමුත්, එය දැවී යාමක් ලෙස නම් කරන්නැයි කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ නැහැ.

ඉන් උපරිම ප්‍රයෝජන ගත් නජ්මුල් ලකුණු 40 ක් රැස් කළ අතර, සෞම්‍ය සාකාර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 68 ක්. මහ්මුදුල්ලාහ් ලකුණු බින්දුවකට දැවී ගියා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 25 යි. මෙහිදි හසාන් ලකුණු 12 කට දැවී ගියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තව්හිද් හ්රිදෝයි පන්දු 102 කින් නොදැවී ලකුණු 96 ක් ලබා ගනිමින් බංග්ලාදේශය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 45 කට කඩුලු තුනක් දවා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, අවසන් එක්දින තරගය එළඹෙන 18 වැනිදා දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...