75-6 ක් තිබූ ඉනිම 148-6ක් දක්වා ගෙන යමින් අවිශ්ක – චාමික ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ගෙන එයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු නිල පුහුණු තරගයෙන් අද(12) ඔවුන් කඩුලු 4ක ජයක් වාර්තා කළා. ඒ, බංග්ලාදේශයට එරෙහිවයි.

අබුඩාබි හී දී පැවැති තරගයේ දී බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සාකාර් ලකුණු 34ක් ලබා ගත්තේ පන්දු 26කින්. ඊට හයේ පහර 2ක් හා හතරේ පහරක් ඇතුළත්.

ලිටොන් දාස් ලකුණු 16(14)කට දැවී ගිය අතර, මහෙදි හසාන් නොදැවී ලකුණු 16යි. නුරුල් හසාන් ලකුණු 15ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා.

ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග හා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහනය වාර්තා කළේ අවිශ්ක ප්‍රනාන්දුගේ සුපිරි පිතිහරඹය හේතුවෙන්.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් හා පැතුම් නිස්සංකයි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 18ක්ව තිබියදීයි. ටස්කින් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ලකුණු 4(8)කටයි.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 15කට දැවී ගියා. පන්දු 12කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් ඇතුළත්.

ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 29ක් (4.1) ලෙසයි.

අංක 3 පිතිකරු දිනේෂ් චන්දිමාල් ලකුණු 13(15)කට දැවී ගියා.

වනිදු හසරංග ලකුණු 7(5)කට දුවද්දී දැවී ගිය අතර, භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගියා. දසුන් ශානක රැස් කළේ ලකුණු 7(6)ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 වන කඩුල්ල දැවී ගියේ ලකුණු 75දී යි.(10.5)

අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න 7 වන කඩුල්ලට ලකුණු 73ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගුවා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගිය අවිශ්ක ප්‍රනාන්දු සුපිරි අර්ධ ශතකයක් වාර්තා කළා.

ඔහු නොදැවී ලකුණු 62(42)ක් වාර්තා කළ අතර, චාමික නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 29(25)ක්.

අවිශ්කගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා. චාමිකගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ දී සෞම්‍ය සාකාර් ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...