තවදුරටත් නායකත්වයේ රැදී සිටීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මොමිනුල් හක්ට එරට ක්‍රිකට් ආයතනය දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ, ඔහුගේ පෞද්ගලික දක්ෂතා සදහා නායකත්වයේ වගකීම බලපා ඇති බවට නිරීක්ෂණය වී ඇති බැවින්.
අවසන් ඉනිම් 15 තුළ දී ඔහු රැස් කර ඇත්තේ ලකුණු 176ක් පමණයි. ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 12.57 ක් වශයෙන්.
අවසන් ඉනිම් 7 තුළ දී මොමිනුල්ට ලකුණු 10 සීමාව පසු කර යාමට ද හැකියාවක් ලැබුණේ නැහැ.
ඔහු මේ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් තරග 17ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 912 ක් වාර්තා කර තිබෙනවා.
මොමිනුල් හක්ගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ටෙස්ට් තරග 12ක් පරාජයට පත් වුණා. ජය ගත්තේ තරග 3ක් පමණයි. තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමා වුණා.
ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද තරග 1-0ක් ලෙස පරාජයට පත් වීමත් සමගයි ඔහුගේ නායකත්වය පිළිබද ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට පැන නැගී ඇත්තේ.
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් හා මොමිනුල් හක් අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ ඔහුගේ නායකත්වය පිළිබද අවසන් තීරණයක් ගැනීමකින් තොරවයි.
සභාපතිවරයා විසින් මොමිනුල් හක්ට සිය නායකත්වයේ අනාගතය පිළිබද අවසන් තීරණයක් ගැනීමට නිදහස ලබා දී ඇති බව සදහන්.

