දකුණු අප්‍රිකාව පරදා බංග්ලාදේශයට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්

Date:

දකුණු අප්‍රිකාවේ දී ලැබූ පළමු ද්විපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරගාවලි ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (23) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගනිමින්.

තෙවැනි හා අවසන් එක්දින තරගය අද සෙන්චූරියන්හී දී පැවැති අතර, එම තරගයෙන් බංග්ලාදේශය කඩුලු 9ක ජයක් වාර්තා කළා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 37ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

ජනෙමන් මලාන් ලකුණු 39ක්, කේෂාව් මහරාජ් ලකුණු 28ක් හා ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 20ක් රැස් කළා.

ඩේවිඩ් මිලර් ලකුණු 16කටත්, ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 12කටත් දැවී ගිය අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහ්මඩ් ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තා.

එය වසර 10කට පසු විදෙස් වේග පන්දු යවන්නෙකු දකුණු අප්‍රිකාවේ දී එක්දින තරගයකදී කඩුලු 5ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

අවසන් වරට එරට පැවැති එක්දින තරගයකදී විදෙස් වේග පන්දු යවන්නෙකු කඩුලු 5ක් දවා ගැනීමට සමත්ව තිබුණේ 2012 වසරේ දී යි.

ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ලකුණු 54කට කඩුලු 5ක් දවා ගනිමින් එම දක්ෂතාවය දක්වා තිබුණා.

අද පැවැති තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 26.3ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(156/1 )

නායක ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 87ක් වාර්තා කරමින් බංග්ලාදේශ කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහනයක් කරා රැගෙන ගියා.

ලිටොන් දාස් ලකුණු 48කට දවා ගැනීමට කේෂාව් මහරාජ් සමත් වුණා. ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 18යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...