චෙන්නායි සුපර් කිංග්ස් තරගාවලියෙන් ඉවත් කරමින් මුම්බායි තෙවැනි ජය ලබයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි ජයග්‍රහණය වාර්තා කරමින් මෙවර තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අහිමි කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(12) සමත් වුණා.

ඒ, මෙවර තරඟ වාරයේ 59 වැනි තරඟයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.

කෙසේ වෙතත් ක්‍රීඩා කළ තරග 12 න් තරග 9ක්ම පරාජයට පත් වූ මුම්බායි කණ්ඩායමට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ අවසන් (10 වැනි) ස්ථානයයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 97 කට සීමා කිරීමට මුම්බායි පන්දු යවන්නන් සමත් වුණා.

ඉනිමේ පළමු කඩුලු පහම පවර් ප්ලේ අවස්ථාව තුළ බිද වැටුණු අතර, ඒ වන විට පන්දුවාර 5.4ක් තුළ චෙන්නායි ලකුණු පුවරුව දක්නට ලැබු‍ණේ ලකුණු 29ක් ලෙසයි.

පන්දුවාර 16ක් පමණක් පිතිකරණයේ නිරත වූ චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක මහේන්ද්‍ර සිං දෝනි. ඔහු පන්දු 33කින් නොදැවී ලකුණු 36 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමගින්.

ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 12 ක් ද, අම්බටි රයිදු හා ශිවම් දූබේ ලකුණු 10 බැගින් ද රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු දහයේ සීමාවට හෝ ළඟා වීමට හැකි වූයේ නැහැ. මහීෂ් තීක්ෂණ ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී ඩැනියල් සෑම්ස් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා. Riley Meredith හා Kumar Kartikeya අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 14.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඔවුන්ගේ ඉනිමට ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මුම්බායි ඉනිමේ දැවී ගිය පළමු කඩුලු 4 පන්දුවාර 4.5ක් තුළ ලකුණු 33ක්ව තිබියදී බිද වැටුණා.

කෙසේ වෙතත්, අනතුරුව තිලක් වර්මා හා හ්රිතික් ශොකීන් පස්වැනි කඩුල්ල සදහා පන්දු 47කින් ලකුණු 48ක සබදතාවයක් ගොඩ නගමින් මුම්බායි කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කළා.

ශොකීන් ලකුණු 18කට දැවී ගියා. රෝහිට් ෂර්මා ද රැස් කළ ලකුණු සංඛ්‍යාව 18ක්. තිලක් වර්මා නොදැවී ලකුණු 34(32) ක් ද, ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 16(7)ක් ද වාර්තා කළා.

පන්දු යැවීමේ දී මුකේෂ් චෞද්‍රි ලකුණු 23කට කඩුලු 3ක් බිද හෙලුවා. මහීෂ් තීක්ෂණ පන්දුවාර 3ක් යොමු කළ අතර, එහිදී ප්‍රතිවාදීන් ලකුණු 24 ක් රැස් කළ නමුත් ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට මෙම තරගයේ දී හැකි වූයේ නැහැ.

මෙම තරගයෙන් පරාජයට පත් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියමින්.

මේ අතර, මෙම තරගය ආරම්භයේ දී විදුලිබල සැපයුම අඩාල වීමක් හේතුවෙන් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) ක්‍රියාත්මක වූයේ නැහැ.

ඒ හේතුවෙන් චෙන්නායි ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී අවාසනාවන්ත ලෙස දැවී යාමට මෙම තරගයේ දී සිදු වුණා.

විනිසුරු විසින් ඔහු දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළ, එය දැවී යාමක් නොවන බව පුනරූපනවලින් දක්නට ලැබුණා.

නමුත්, ඔහුට එම විනිසුරු තීරණය අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව අහිමි වුණේ ඒ මොහොත වන විට විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය අඩාල වී තිබූ බැවින්.

දර්ශන පහතින් –

https://twitter.com/sportsgeek090/status/1524761085613850624

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...