ග්‍රීන්ගේ සුපිරි ශතකය මුම්බායි බලාපොරොත්තු රැක දෙයි

Date:

අවසන් පන්දුවාරවලදී මුම්බායි පන්දු යවන්නන් දැක් වූ විශිෂ්ඨ පන්දු යැවීම හා කැමරන් ග්‍රීන්ගේ අනර්ඝ ශතකය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 69 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 200 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ සන්රයිසස් කණ්ඩායමට මෙවර තරග වාරයේ 10 වැනි පරාජයත් උරුම කරමින්. ඒ අනුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට මෙවර තරගාවලිය නිමා කිරීමට සිදු වූයේ අවසන් ස්ථානයට පත් වෙමින්.

මුම්බායි හඹා යාම ආරම්භ ඉෂාන් කිෂන් ලකුණු 14 කට දැවී යාමෙන් පසුව රෝහිත් ෂර්මා සමග පිටියේ එක් වූ කැමරන් ග්‍රීන් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 128 (65) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

නායක රෝහිත් පන්දු 37 කින් ලකුණු 56 ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කැමරන් ග්‍රීන් පන්දු 47 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 100 ක්. හයේ පහර 8 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ සුවිශේෂි ඉනිම වර්ණවත් කළා. සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 25 යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 140 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මයාන්ක් අගාර්වල් හා විව්රන්ට් ෂර්මා සමත් වුණේ පන්දුවාර 13.5 ක් තුළදීයි.

අගාර්වල් පන්දු 46 කින් ලකුණු 83 ක් ලබා ගත් අතර, ෂර්මා ලකුණු 69 ක් පන්දු 47 කින් වාර්තා කළා. අගාර්වල්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

හෙන්රික් ක්ලාසන් ලකුණු 18 ක් ද, ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 13 ක් ද ලබා ගත්තා. සන්රයිසස් පිල ලකුණු 220 සීමාවට ළගා වනු ඇති බවට බොහෝ දෙනෙකු අනුමාන කළ නමුත්, අවසන් පන්දුවාර කිහිපයේ දී මුම්බායි පන්දු යවන්නන් ඉතා හොද පන්දු යැවීමක නිරත වීමත් සමග එම අවස්ථාව ඔවුන්ට අහිමි වුණා.

පන්දු යැවීමේ දී ආකාශ් මද්වල් ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගත්තා.

අද රාත්‍රියේ පැවැත්වෙන තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හමුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත් වුවහොත් මුම්බායි කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නවා. එම තරගයෙන් බැංගලෝර් කණ්ඩායම ජයගතහොත් බැංගලෝර් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබන්නේ ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන් මුම්බායි පිලට වඩා ඉදිරියෙන් පසුවන බැවින්.

අද තරගයෙන් මුම්බායි පිල ලැබූ ජයත් සමග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...