කොන්වේගේ 200 න් පසු රූට්-රොරී එංගලන්තය ස්ථාවර කරයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(3) නිමා වුණේ තරගයේ ගෞරව කණ්ඩායම් දෙකටම සමව හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 111ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 267ක්.

නායක ජෝ රූට් නොදැවී ලකුණු 42ක් සහ සිය 9 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ රොරී බර්න්ස් නොදැවී ලකුණු 59ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඩොම් සිබ්ලි ලකුණු නොලබා සිටියදීත්, සැක් ක්‍රව්ලි ලකුණු 2කටත් දැවී ගියේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ මුල්පෙල දුර්වලතාවය යළිත් වරක් පෙන්නුම් කරමින්.

පන්දු යැවීමේ දී කයිල් ජමිසන් සහ ටිම් සවුති දැවී ගිය කඩුලු දෙකේ හිමිකරුවන් බවට පත් වුණා.

රූට් සහ බර්න්ස් අතර මේ වන විට තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 93ක්.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දෙවන දිනය සදහා තරගය අද ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 378කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ අද වාර්තා රැසක් අලුත් කරමින් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්.

නවසීලන්ත ඉනිම ආරම්භ කළ ඔහු පන්දු 347කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 200ක්.

ඔහුගේ ඉනිම හතරේ පහර 22කින් හා එක් හයේ පහරකින් වර්ණවත් වුණා.

ඔහු වාර්තා කළ ද්විත්ව ශතකයත් සමග ඩෙවෝන් කොන්වේ ඉතිහාසයට එක් වුණේ මංගල ටෙස්ට් තරගයේ දී ම (පළමු ඉනිමේ දී හෝ දෙවැනි ඉනිමේ දී) ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 7 වැනි ක්‍රීඩකයා ලෙසයි.

හෙන්රි නිකල්ස් ලකුණු 61ක් සහ අංක 11 පිතිකරු ලෙස පිටියට පිවිසි නෙයිල් වැග්නර් නොදැවී ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔලී රොබින්සන් කඩුලු 4ක් බිද හෙලූ අතර, මාක් වුඩ් කඩුලු 3ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...