දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් හුදෙකලා කිරීමකට ලක් කර තිබෙනවා.
ඒ, ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.
ඒ අනුව රිකී පොන්ටින්ට දින 5ක කාලයක් සිය හෝටල් කාමරයේම හුදෙකලා වී සිටීමට සිදු වනු ඇති.
හුදෙකලා වී සිටීමට සිදු වීම නිසා අද(22) රාත්‍රියේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය සදහා ද ඔහුට සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වුණා.
ඔහුගේ පවුලේ සාමාජිකයාට වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීමෙන් පසුව රිකී පොන්ටින් මේ වන විට අවස්ථා දෙකකදී වෛද්‍ය පරීක්ෂණ සදහා මුහුණ දී ඇතත්, ඔහුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවයි හදුනා ගෙන ඇත්තේ.
කැපිටල්ස් කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 28 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බැවින් රිකී පොන්ටින්ට එම තරගයේ දී කණ්ඩායම හා සම්බන්ධ වීමට හැකි වනු ඇති.
මේ වන විට දිල්ලි කැපිටල්ස් සංචිතයට සම්බන්ධ සාමාජිකයින් 6 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති පසුබිමකයි රිකී පොන්ටින්ගේ පවුලේ සාමාජිකයෙකුට ද මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ.
වෛරසය ආසාදනය වූවන් අතරට විදෙස් ක්‍රීඩකයින් වන මිචෙල් මාෂ් හා ටිම් සෙයිෆර්ට් ද අයත්.

