“ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්න අවශ්‍ය කොහේද, කෙසේද යන්න අපි හඳුනා ගත්තා” මිකී සැලසුම් පහදයි

Date:

පසුගිය දින 9ක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර පුහුණුවීම් කටයුතු සිදු කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ඕමානයට එරෙහිව 20යි 20 තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහා හා එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද(3) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, ඊට පෙර ඊයේ(2) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුහුණුකරු මිකී ආතර් මේ බව කියා සිටියා.

පසුගිය දිනවලදී පුහුණු තරග 3ක් මෙන්ම නිපුණතා සැසි පැවැති බව පෙන්වා දුන් ඔහු සදහන් කළේ “අපේ ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය කොහේද සහ කෙසේද යන්න අපි හඳුනා ගත්තා” යනුවෙන්.

“මම හිතන්නේ අපේ පිතිහරඹය සාර්ථක වුණොත්, එය අපිට හොද අවස්ථාවක් සලසා දේවි. මොකද මම හිතන්නේ අපේ පන්දු යැවීමේ බලඇණිය ඉතාමත් හොදයි වගේම අපේ පන්දු රැකීමේ ප්‍රමිතීන් සුවිශේෂී ලෙස වැඩිදියුණු වෙලා තියෙනවා.”

“මම අයි.පී.එල් තරගාවලිය ඉතා උනන්දුවෙන් නරඹමින් ඉන්නවා. මොකද අපි ක්‍රීඩා කරන්න යන්නේ ඒ තණතීරුවල. එහි තත්ත්වයන් දෙස බලන විට අපි බොහෝ විට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු හා දග පන්දු යවන්නන් දෙදෙනෙකු සමග ක්‍රීඩා කරාවි. ඊලගට අපේ තුන් ඉරියව් ක්‍රීඩකයින්. මුල් පෙල පිතිකරුවන්ගෙන් අර්ධ කාලීන දග පන්දු යවන්නෙකුත් සිටිය හැකියි”

ආබාධයකට ලක්ව සිටි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා මේ වන විට ආබාධය සුව වී නිමා වූ සංචිත අභ්‍යන්තර පුහුණු තරග සදහා ද එක් වූ බවයි මිකී ආතර් සදහන් කළේ.

ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට පනවා ඇති තරග තහනම ද ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි බලපෑමක් (පාඩුවක්) එල්ල කරන බව මෙහිදී ශ්‍රී ලංකා පුහුණුකරු පෙන්වා දුන්නා.

මේ අතර, තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේ දී මිකී ආතර් දැඩි බලාපොරොත්තු සහගතව අදහස් පල කළා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීමේ වගකීම දසුන් ශානක, වනිදු හසරංග සමගින් ඔහුට ද පැවරෙන බවත්, පන්දුවාර 15ත් 20ත් අතර කාලයේ දී චාමික පිතිහරඹයේ නිරත විය යුතු බවත්, ශ්‍රී ලංකා පුහුණුකරු කියා සිටියා.

ලබන 17 වනදා ආරම්භ වන මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව ඕමානයේ දී 20යි 20 තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරග ඔක්තෝබර් 7 හා 9 යන දිනවලදී පැවැත්වෙනවා.

අනතුරුව ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණු තරග සදහා ශ්‍රී ලංකාව එක්වන්නේ බංග්ලාදේශයට හා පැපුවා නිව් ගිනියාවට එරෙහිවයි. එම තරග දෙක ඔක්තෝබර් 12 හා 14 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමග ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම තරග පැවැත්වෙන්නේ ලබන 18, 20 හා 22 යන දිනවලදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...