කවාජාගේ 232, ස්මිත්ගේ හා ඉන්ග්ලිස්ගේ ශතක හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 610 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(30) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය සංචාරක ඕස්ට්‍රේලියානු පිලට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු 654 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේදී පිටුපසින් රැදී සිටින ලකුණු සංඛ්‍යාව 610 ක්.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු හා දිමුත් කරුණාරත්න ලකුණු 7 බැගින් ලබා සිටියදී දැවී ගියා. ඒ, පිළිවෙලින් මැතිව් කුහ්නෙමන් හා මිචෙල් ස්ටක් යොමු කළ පන්දු හමුවේයි.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 8ට දැවී ගියේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේයි. දිනේෂ් චන්දිමාල් හා කමිදු මෙන්ඩිස් පිළිවෙලින් නොදැවී ලකුණු 9 ක් හා 13 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ගාල්ලේ පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.

සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළ උස්මාන් කවාජා ලකුණු 232 ක් රැස් කළේ පන්දු 352 කට මුහුණ දෙමින්. හයේ පහරක් හා හතරේ 16 ක් ඔහුගේ අනර්ඝ ඉනිම වර්ණවත් කළා.

නායක ස්ටීවන් ස්මිත් ලකුණු 141(251) ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 12 ක් සමගින්. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 266 (419) ක්. එය ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනෙකු වාර්තා කළ හොදම සම්බන්ධතාවයයි.

සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ජොෂ් ඉන්ග්ලිස් ශතකයක් වාර්තා කරමින් ලකුණු 102 ක් ලබා ගත්තේ පන්දු 94 කින්. හයේ පහරක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කවාජා හා ඉන්ග්ලිස් අතර සිව්වැනි කඩුල්ල සදහා ද ලකුණු 146 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 46 ක් ලබා ගත් අතර, ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 57ක්.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියාව කඩුලු හයක් දැවී ලකුණු 654 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ඔවුන් ආසියාවේදී ටෙස්ට් ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද අලුත් කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...