කමිදුගේ ප්‍රහාරය හා මැතිව්ස්ගේ සටන හමුවේ බී-ලව් කැන්ඩි LPL ශූරයින් වෙයි

Date:

කමිදු මෙන්ඩිස්ගේ වේගවත් ආරම්භය හා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සටන්කාමී ඉනිම හමුවේ 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින් LPL සිව්වැනි අදියරේ ශූරතාවය දිනා ගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම අද(20) සමත් වුණා.

අවසන් මහා තරගය ජය ගනිමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සදහා බී-ලව් කැන්ඩි කණ්ඩායමට ලකුණු 148 ක ඉලක්කයක් ලබා දීමට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වූ නමුත්, කැන්ඩි කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

අවසන් වටයේ තෙවැනි තරගයේ දී සිදු වූ පාදයක ආබාධය හේතුවෙන් අවසන් තරගය සදහා කැන්ඩි පිලේ නිත්‍ය නායක වනිදු හසරංග ක්‍රීඩා කළේ නැහැ. ඔහු වෙනුවට කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කළේ ඇන්ජෙලෝ මැතිව්ස්.

බී-ලව් කැන්ඩි ඉනිමේ පළමු කඩුල්ල ලෙස හයේ පහරක් හා හතරේ පහර 3ක් සමගින් ලකුණු 26(22) ක් ලබා සිටි මොහමඩ් හැරිස් දවා ගැනීමට නූර් අහ්මඩ් සමත් වුණා. ඔහු දැවී ගියේ පළමු කඩුල්ලට කමිදු මෙන්ඩිස් සමග ලකුණු 49 ක සම්බන්ධතාවයක් පිහිටුවීමෙන් අනතුරුවයි.

කමිදු ලකුණු 44 ක් පන්දු 37කින් රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ද ඇතුළත්. එම කඩුල්ලේ හිමිකරු බවට පත් වූයේ ද නූර් අහ්මඩ්.

බිනුර ප්‍රනාන්දු විසින් දිනේෂ් චන්දිමාල් ලකුණු 24(22) කට දවා ගත් අතර, චතුරංග ද සිල්වා ලකුණු නොලබා සිටියදී දැවී ගියේ ද නූර් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේයි.

අසිෆ් අලී පන්දු 10 කින් ලකුණු 19 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ 2 ක් සමගින්. ඔහු දැවී ගියේ බිනුරගේ පන්දුවක් හමුවේ කුසල් පෙරේරා රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 21 කින් නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තා. හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ලහිරු මදුෂංක නොදැවී ලකුණු 5යි.

පන්දු යැවිමේ දී නූර් අහ්මඩ් කඩුලු 3 ක් හා බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක් බිද හෙලුවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 147 ක් ලබා ගත්තේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5 (10) කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 22 (23) යි.

සධීර සමරවික්‍රම ලකුණු 36(30) යි. හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ධනංජය ද සිල්වා ලකුණු 40 ක් රැස් කළේ පන්දු 29 කින් හයේ පහර 3ක් ද සමගින්.

කුසල් පෙරේරා නොදැවී ලකුණු 31(25) ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 2ක් එල්ල කරමිනුයි ඔහු සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකත්වය ලබා දුන්නේ.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා කඩුලු 2 ක් දවා ගත් අතර, නුවන් ප්‍රදීප් හා මොහමඩ් හස්නයින් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...