බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
Guyana හි Providence ක්රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන්ට පන්දුවාර 35 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.
කීමෝ පෝල් නොදැවී ලකුණු 25ක් රැස් කළ අතර, ෂේයි හෝප් ලකුණු 18ක් හා ක්යල් මේයර්ස් ලකුණු 17ක් රැස් කළා.
පන්දු යැවීමේ මෙහිදි හසාන් මිරාස් ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගත්තා. නසුම් අහ්මඩ් 19 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 20.4ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.(112/1)
නායක ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 50යි. පන්දු 62 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්.
නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 20ක් ලබා ගත් අතර, ලිටොන් දාස් නොදැවී ලකුණු 32 (27) ක් වාර්තා කිරීමට සමත් වුණා. දාස්ගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත්.

