කඩුලු 3 ක ජයකින් එංගලන්තය අළුබදුන බලාපොරොත්තු රැක ගනියි

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් අළුබදුන තරගාවලිය ජය ගැනීම පිළිබද සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(9) සමත් වුණා.

ලීඩ්සි හි හිඩින්ග්ලි ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 251 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 27 ක් ලබා සිටියා. පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට් ලකුණු 23 කට දැවී ගිය අතර, අංක 3 පිතිකරු ලෙස උසස් වීමක් ලද මොයීන් අලී ලකුණු 5 කට දැවී ගියා. සැක් ක්‍රව්ලි ලකුණු 44 ක් හා ජෝ රූට් ලකුණු 21 ක් ලබා ගත්තා.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 13 කටත්, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 5කටත් දැවී ගියේ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාවට නතු කරමින්. බෙයාර්ස්ටව් 6 වැනි කඩුල්ල ලෙස දැවී යන විට එංගලන්තයට තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 80 ක් අවශ්‍ය වුණා.

කෙසේ වෙතත්, අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ලකුණු 59 (73)ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට හැරී බෘෘක් සමග එක් වූ ක්‍රිස් වෝක්ස් සමත් වුණා. බෘෘක් ලකුණු 75 කට දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.

කෙසේ වෙතත්, ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 32 ක් හා මාර්ක් වුඩ් නොදැවී ලකුණු 16 ක් ලබා ගනිමින් එංගලන්තයට තියුණු ජයක් හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 78 කට කඩුලු 5ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 263 ක් රැස් කළා. ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 85 ක් තුළ බිද වැටුණු පසුබිමක සුපිරි ශතකයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කිරීමට මිචෙල් මාෂ් සමත් වුණේ පන්දු 118 කින් ලකුණු 118 ක් රැස් කරමින්. මාර්ක් වුඩ් සුවිශේෂි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 237 ක්. බෙන් ස්ටොක්ස් ලකුණු 80 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 6ක් දවා ගත්තේ ලකුණු 91 ක් ලබා දෙමින්.

ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 224 ක් ලබා ගත්තේ ට්‍රැවිස් හෙඩ්ගේ ලකුණු 77 න් ශක්තිමත් වෙමින්. පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් හා ක්‍රිස් වෝක්ස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...