තරග 5කින් යුත් අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 3 ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත අංක 3 පිතිකරු ඔලී පෝප්ට අහිමි වී තිබෙනවා.
ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දු රකිමින් සිටියදී දකුණු උරහිසෙහි ආබාධයකට ලක් වීම හේතුවෙනුයි එංගලන්ත උප නායක ඔලී පෝප්ට මෙලෙස අළුබදුන තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව ඇත්තේ.
ආබාධය හේතුවෙන් 25 හැවිරිදි ඔහුට ශල්‍යකර්මයකටද මුහුණ දීමට සිදු වන බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
පෝප් වෙනුවට එංගලන්ත ටෙස්ට් සංචිතය සදහා මෙතෙක් වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කර නැහැ.
ඒ අනුව තෙවැනි ටෙස්ට් තරගය සදහා ඩෑන් ලෝරන්ස් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.
මීට පෙර ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන්ට ද අළුබදුන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණේ දෙවැනි ටෙස්ට් තරගයේ දී පන්දු රකිමින් සිටියදී මුහුණ දුන් පාදයක ආබාධයක් හේතුවෙන්.
දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් අළුබදුන තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
තෙවැනි ටෙස්ට් තරගය ලීඩ්ස්හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයේ දී එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතයි.

