එංගලන්තය හමුවේ ඔස්ට්‍රේලියාවට අන්ත පරාජයක්

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට එංගලන්තය අද(30) සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ දරුණු පරාජයකට ලක් වුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එංගලන්ත පන්දු යවන්නන්ගෙන් එල්ල වූ අතර, එහි ප්‍රතිපලය වූයේ ඔස්ට්‍රේලියානු පිලේ සියලු දෙනා පන්දුවාර 20 තුළ ලකුණු 125කට දැවී යාමයි.

ඉනිමේ සිව්වන කඩුල්ල ලකුණු 21ක්ව තිබියදී බිද වැටුණා. ඔස්ට්‍රේලියාව ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට හුදෙකලා සටනක නිරත වූ නායක ආරෝන් ෆින්ච් ලකුණු 44ක් රැස් කළා.

නම් දැරූ පිතිකරුවන් රැසක් අසාර්ථක වෙද්දී ඇෂ්ටන් ඒගාර් ලකුණු 20ක් ද, පැට් කමින්ස් ලකුණු 12ක් ද ලබා ගත්තේ හයේ පහර දෙක බැගින් එල්ල කරමින්. මැතිව් වේඩ් ලකුණු 18ක් හා මිචෙල් ස්ටක් ලකුණු 13ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 17කට 3ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් හා Tymal Mills අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 11.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.

එංගලන්තය පළමු පන්දුවාර 6 තුළ දී (පවර් ප්ලේ) ලකුණු 66ක් වාර්තා කිරීම විශේෂත්වයක්. එය මෙවර ලෝක කුසලානයේ පළමු පන්දුවාර 6 තුළ දී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් අති දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 71ක් රැස් කළේ පන්දු 32කින්.

ඔහු සිය අර්ධ ශතකය පන්දු 25ක් පමණක් වැය කරමින් වාර්තා කළා.

පන්දු යැවීමේ දී ඇෂ්ටන් ඒගාර් හා ඇඩම් සම්පා කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...