ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට ඇරඹේ

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(18) ආරම්භ වනවා.

පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හෙට පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පසුගිය 13 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, පසුව එය හෙට දක්වා කල් දැමුණේ එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැනීම හේතුවෙන්.

මෙම තරගාවලිය සදහා ද ශ්‍රී ලංකාවෙන් නම් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නොමැති සංචිතයක්.

නිමා වූ තරග සංචාර ද්විත්වයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා කටයුතු කළ නමුත්, ඉන්දීය තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දසුන් ශානකට පැවරීමටයි ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

කුසල් පෙරේරා මේ වන විට ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඉන්දියාවට එරෙහි තරග සදහා ඔහු ක්‍රීඩා නොකරන බැවින් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ලෙස රැදී සිටින්නේ ධනංජය ද සිල්වා හා දසුන් ශානක පමණයි.

ඉන්දීය ටෙස්ට් ක්‍රීඩකයින් රැසක් එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින බැවින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් දෙවන පෙළ කණ්ඩායමකට සමාන කණ්ඩායමක් නම් කර ඇතත්, මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ද මේ වන විට දෙවන පෙළ කණ්ඩායමක් බවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර අත්දැකීම් මෙන්ම අයි.පී.එල් අත්දැකීම් ද හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඔවුන් බොහෝ ඉදිරියෙන් පසුවන බව නොරහසක්.

බිනුර ප්‍රනාන්දු ද ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 159ක් පවත්වා තිබෙනවා.

ඉන් ඉන්දියාව තරග 91ක් ද ශ්‍රී ලංකාව තරග 56ක් ද ජය ගෙන ඇති අතර, එක් තරගයක් ලකුණු සම වීමකින් අවසන් වුණා.

තරග 11ක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමුණා.

ඉන්දියාව මෙරට තරග සංචාරයක නිරත වන්නේ වසර 3කටත් වැඩි කාලයකට පසුවයි.

ඔවුන් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණේ 2018 වසරේ මාර්තු මාසයේ පැවැති නිදහස් කුසලාන තරගාවලිය වෙනුවෙනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...