ඉන්දීය තරගය වර්ජනය කිරීමේ ප්‍රතිවිපාක ගැන අයි.සී.සීය පාකිස්තානයට අනතුරු අඟවයි

Date:

2026 ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිය ජාතික කණ්ඩායම තෝරා ගත් තරග කිහිපයකට පමණක් සහභාගී කරවීමට උපදෙස් ලබා දෙමින් පාකිස්තාන රජය ගත් තීරණය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේදී පෙබරවාරි 15 වැනිදා ඉන්දියාව සමග පැවැත්වෙන තරගය වර්ජනය කිරීමට තීරණය කළ බවට පාකිස්තාන රජය නිවේදනය කිරීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සීය මේ බව සදහන් කළා.

තවමත් පාකිස්තාන් ක්‍රිකට් ආයතනයෙන් (PCB) මේ පිළිබද නිල දැනුම්දීමක් ලැබී නොමැති බව අයි.සී.සීය පෙන්වා දෙන අතර, ලෝක මට්ටමේ ක්‍රීඩා ඉසව්වකදී සුදුසුකම් ලැබූ සියලු කණ්ඩායම් නියමිත කාලසටහනට අනුව සමානව සහභාගී විය යුතු බැවින්, “තෝරාගත් සහභාගීත්වය” යන තීරණය එම මූලික අදහසට නොගැළපෙන බවයි අයි.සී.සීය සදහන් කරන්නේ.

ICC තරඟාවලි ගොඩනැගී ඇත්තේ ක්‍රීඩාවේ අඛණ්ඩතාව, තරඟකාරිත්වය, ස්ථාවරභාවය සහ සාධාරණත්වය මත වන අතර, මෙලෙස තෝරාගත් සහභාගීත්වයන් මගින් තරඟාවලියේ ජීවගුණයට හානි සිදු වන බව අයි.සී.සී නිවේදනයේ සදහන්.

ජාතික ප්‍රතිපත්ති පිළිබඳ කරුණුවලදී රජයන් සතු කාර්යභාරයට අයි.සී.සීය ගරු කරන නමුත්, මෙම තීරණය ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට හෝ පාකිස්තානයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඇතුළුව ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන්ගේ සුභසාධනයට හේතු නොවන බවයි අයි.සී.සීයේ මතය වී ඇත්තේ.

මෙම තීරණය ගෝලීය ක්‍රිකට් පද්ධතියට බලපෑම් ඇති කළ හැකි බැවින්, එහි සාමාජිකයෙකු ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය තම රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දිගුකාලීනව ඇති විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බව අයි.සී.සීය සිය නිවේදනය ඔස්සේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ICC හි ප්‍රමුඛතාවය වන්නේ ලෝක කුසලානය සාර්ථකව පැවැත්වීම වන අතර, එය පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඇතුළු සියලුම සාමාජිකයින්ගේ ද වගකීමක් විය යුතු බවයි අයි.සී.සීය කියා සිටියේ.

සියලුම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා වන පරිදි, අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇතැයි අයි.සී.සී අපේක්ෂා කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...