ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද(2) සිය පළමු පුහුණු සැසියට එක් වුණා.
ඒ, දැඩි නිරෝධායන නීතිවලට යටත්ව හෝටල් කාමර තුළම ඔවුන් ඊයේ(1) දිනය දක්වා නිරෝධායනට ලක් වීමෙන් පසුවයි.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ඉන්දීය ක්‍රීඩකයින් පුහුණුවීම්වල නිරත වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඉන්දීය කණ්ඩායමේ නිරෝධායන කාලසීමාව තවමත් අවසන් වී නොමැති නමුත්, අද සිට ජූලි 4 වනදා දක්වා ඔවුන්ට නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.(පුහුණුවීම් සිදු කළ ආකාරය ඇතුළත් ඡායාරූප පහතින්)
ජූලි 5-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඉන්දීය සංචිතයේම ක්‍රීඩකයින් අතර පුහුණු තරග ද සංවිධාන කිරීමට නියමිතයි.
මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ දැල් පන්දු යවන්නන් 5 දෙනෙකු ඇතුළත්.
පසුගිය 28 වනදා දිවයිනට පැමිණි ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රාහුල් ඩ්‍රාවිඩ්.
එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.
සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.





