ඉන්දියාව අවධානමට ඇදදමමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගය අභියසටම

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(6) සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 174 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර, ඔවුන් එය ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී පසු කර ගියේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ල සදහා පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 97 (67) ක්. පැතුම් ලකුණු 52 (37) ක් ද, මෙන්ඩිස් ලකුණු 57(37) ක් ද රැස් කළා.

යළිත් අසාර්ථක වූ චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගිය අතර, ධනුෂ්ක ගුණතිලක ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

අනතුරුව දසුන් ශානක හා භානුක රාජපක්ෂ 5 වැනි කඩුල්ල සදහා පන්දු 34 කින් ලකුණු 64 ක නොබිදුණු සබදතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

දසුන් නොදැවී ලකුණු 33 ක් රැස් කළේ පන්දු 18 කින්. භානුක නොදැවී ලකුණු 25(17)යි.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 173ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

පළමු කඩුලු දෙක ලකුණු 13 දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. කේ. එල් රාහුල් ලකුණු 6 කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වූ අතර, අනතුරුව පිටියට පිවිසි විරාට් කෝලි ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

පසුව රෝහිට් ෂර්මා සමග පිටියේ එක් වූ සූර්යකුමාර් යාදව් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 97(58) ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

ෂර්මා ලකුණු 72 ක් ලබා ගත්තේ පන්දු 41 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සූර්යකුමාර් ලකුණු 34(29)යි. අනතුරුව ඉන්දීය ඉනිමේ යළි බිද වැටීමක් සිදු වුණා.

හර්ඩික් පාන්ඩ්යා හා රිෂාබ් පාන්ට් ලකුණු 17 බැගින් ලබා ගත් අතර, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු 15 යි.

රෝහිට් හා සූර්යකුමාර්ගේ සම්බන්ධතාවයෙන් පසුව ඉනිමට වේගවත් අවසානයක් ලබා දීමට කිසිදු පිතිකරුවෙකුට නොහැකි වීම මත ඉන්දියාවට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ අවස්ථාව අහිමි වී ගියා.

සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුෂංක ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා. චාමික කරුණාරත්න හා දසුන් ශානක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම පරාජයත් සමග මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු මේ වන විට දැඩි අවධානම් තත්ත්වයකට ඇද වැටී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...