ඇලන්, සවුති හා බෝල්ට් නවසීලන්තය එක්දින තරගාවලියේ සම තැනට ගෙන යයි

Date:

ෆින් ඇලන්ගේ විශිෂ්ඨ ඉනිම මෙන්ම ටිම් සවුති හා ට්‍රෙන්ට් බෝල්ට් පන්දු යැවීමෙන් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 50 ක ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක නවසීලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(20) පෙරවරුවේ සමත් වුණා.

ආබාධයක් නිසා නිත්‍ය නායක කේන් විලියම්සන් මෙම තරගයට ක්‍රීඩා නොකළ බැවින් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ටොම් ලේතම් විසින්.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 212 ක් රැස් කළා.

මාර්ටින් ගප්ටිල් ලකුණු 3කටත්, ඩෙවෝන් කොන්වේ ලකුණු 6කටත්, ටොම් ලේතම් ලකුණු නොලබාත්, මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 6කටත්, ග්ලේන් පිලිප්ස් ලකුණු 9කටත් දැවී ගියා. ජේම්ස් නීෂම් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

ඩැරල් මිචෙල් ලකුණු 41 ක් ලබා ගත් අතර, මිචෙල් සැන්ට්නර් නොදැවී ලකුණු 26 ක් හා ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 16 ක් ලබා ගත්තා. ටිම් සවුති ලකුණු 4කට දැවී ගියා.

නම් දැරූ පිතිකරුවන් රැසක් අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 117 කින් ලකුණු 96 ක් රැස් කිරීමට සමත් වුණා. හයේ පහර 3ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 41 කට කඩුලු 4ක් දවා ගත් අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 24 කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ 6 වැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 27 ක්ව තිබියදීයි.

ඔවුන් කඩුලු 7 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියදී බාර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරගය යළි ආරම්භ කෙරුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කොදෙව්වන්ට ලකුණු 212 ක ඉලක්කයක් පන්දුවාර 41 කදී හඹා යාමේ අභියෝගයක් හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, කොදෙව් ඉනිම පන්දුවාර 35.3 ක් අවසානයේ සියලු දෙනා දැවී සටහන් වූයේ ලකුණු 161 ක් ලෙසයි.

Yannic Cariah ලකුණු 52(84) ක් හා අල්සාරි ජෝසප් ලකුණු 49(31) ක් රැස් කරමින් කොදෙව් පසුපෙල ශක්තිමත් කළේ සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමින්.

ෂේයි හෝප් හා Keacy Carty ලකුණු 16 බැගින් ලබා ගත් අතර, අකීල් හොසේන් ලකුණු 11ක් රැස් කළා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 22 කට කඩුලු 4ක් දවා ගත්තා. ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 18කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...