ආබාධයක් සහිතව මෙන්ඩිස් ගහපු 74* හමුවේ ශ්‍රී ලංකාවට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්

Date:

පාදයක ආබාධයක් සහිතව කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළ අති විශිෂ්ඨ සටන්කාමී ඉනිම හමුවේ නවසීලන්තයට එරෙහිව වසර 12 කට පසුව ද්වි පාර්ශ්වික එක්දින තරගාවලියක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, දෙරට අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් DLS ක්‍රමවේදය යටතේ කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කරමින්. ඒ අනුව තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් පසුවනවා. මෙය මෙම වසරේදී ශ්‍රී ලංකාව ජය ගත් පස්වැනි එක්දින තරගාවලිය වීම ද විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන් අතර, නවසීලන්ත ඉනිමට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47 කට සීමා කිරීමටයි තීරණය කෙරුණේ. නවසීලන්තය පන්දුවාර 45.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 209 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 46 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.(210/7)

ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5කටත්, පැතුම් නිස්සංක ලකුණු 28 කටත් දැවී ගියා. කමිදු මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර, නායක චරිත් අසලංක ලබා ගත්තේ ලකුණු 13 ක් පමණයි. යළි අසාර්ථක වූ සධීර සමරවික්‍රම ලකුණු 8කට දැවී ගියා.

පස් වැනි කඩුල්ල ලකුණු 93 දී දැවී යාමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් හා ජනිත් ලියනගේ අතර 6 වැනි කඩුල්ලට ලකුණු 39 (64) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, ජනිත් දැවී ගියේ ලකුණු 22 ක් ලබා සිටියදීයි.

පසුව 7 වැනි කඩුල්ලට මෙන්ඩිස් සමග පිටියේ එක් වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 25 කින් ලකුණු 31 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනයට තවදුරටත් සමීප කළ නමුත්, දුනිත් ලකුණු 18 කට දැවී ගියේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු යළිත් කණ්ඩායම් දෙකටම විවර කරමින්.

කෙසේ වෙතත්, 8 වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 47* (59) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පිතිකරණයේ නිරතව සිටියදී සිදු වූ පාදයක ආබාධය ද පසෙකලා සටන්කාමී ඉනිමක නිරත වූ මෙන්ඩිස් පන්දු 102 කින් ලකුණු 74 ක් නොදැවී රැස් කළේ හතරේ පහර 6 ක් සමගින්. තීක්ෂණ නොදැවී ලකුණු 27(44) යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිම වෙනුවෙන් මාර්ක් චැප්මන් පන්දු 81 කින් ලකුණු 76 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් සමගින්. මිචෙල් හේයි ලකුණු 49 (62) ක් ලබා සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියා.

මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුලු 3 ක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගත්තා. අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 37 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...