අසිතගේ කඩුලු 10, මැතිව්ස් හා චන්දිමාල්ගේ ශතක ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් ගෙනෙයි

Date:

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද(27) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමේ දී ලකුණු 29ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර ගියා.

ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 21ක් හා දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 7ක් රැස් කළා.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටි අතර, ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 169කට සීමා වුණා.

ඊයේ දිනයේ දී ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 23ක් ලෙස සටහන්ව තිබියදීයි බිද වැටුණේ.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස මුෂ්ෆිකර් රහීම් ලකුණු 23ක් ලබා සිටිය දී දැවී ගියා. ඒ, කසුන් රාජිතගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

අනතුරුව ලිටොන් දාස් හා ශකිබ් අල් හසාන් අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 103ක්.

ලිටොන් දාස් ලකුණු 52කට දැවී ගියේ අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දීමෙන්.

ශකිබ් අල් හසාන් ලකුණු 58කට දැවී ගියා. ඒ, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු නොලබා දැවී ගිය අවස්ථා 9ක් වාර්තා වීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 6ක් දවා ගත්තා. (කඩුලු හයේ දර්ශන මෙතනින් නරඹන්න) ඔහු මෙම තරගයේ දී බිද හෙලූ සමස්ත කඩුලු ගණන 10ක්.

එලෙස ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් දවා ගත් දෙවැනි ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

කසුන් රාජිත කඩුලු 2ක් ද, රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365ක්. ඒ, පළමු කඩුලු 5 ලකුණු 24ක් තුළ දැවී ගිය පසුබිමකයි. මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 175ක් රැස් කළ අතර, ලිටොන් දාස් ලබා ගත් ලකුණු ප්‍රමාණය 141ක්. පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 5ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 506ක් ලබා ගත්තා. ඒ, ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලබා ගත් ලකුණු 145න් හා දිනේෂ් චන්දිමාල් වාර්තා කළ ලකුණු 124න් ශක්තිමත් වෙමින්. පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් කඩුලු 5ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස අසිත ප්‍රනාන්දු ද, තරගාවලියේ වීරයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...