අක්‍රම්ගේ ලෝක වාර්තාව හමුවේ යොවුන් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව 6 වැනි තැනට පත් වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි ස්ථානය දිනා ගනිමින් මෙවර තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙරට වේලාවෙන් අද(4) අලුයම සිදු වුණා.

ඒ, තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීම සදහා පැවැති තරගයෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 238කින් පරාජය වීම හේතුවෙන්.

ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළා.

එම තීරණයට ප්‍රබල පිළිතුරක් දුන් පාකිස්තාන යොවුන් පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 3ක් දැවී ලකුණු 365ක් රැස් කරමින්.

පළමු කඩුල්ල ලකුණු 134 දී බිද වැටුණේ මුහමද් ෂෙසාඩ් ලකුණු 73කට දැවී යාමත් සමගයි.

අනතුරුව හසීබුල්ලාහ් ඛාන් හා නායක කසීම් අක්‍රම් දෙවන කඩුල්ල සදහා ගොඩ නැගූ සබදතාවය ලකුණු 229 ක්.

හසීබුල්ලාහ් ලකුණු 136(151)ක් ද, කසීම් නොදැවී ලකුණු 135(80)ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 62කට කඩුලු 2ක් හා රවීන් ද සිල්වා ලකුණු 33කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට පළමු පන්දුවේ සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට නායක කසීම් අක්‍රම් ප්‍රමුඛ පාකිස්තාන යොවුන් පන්දු යවන්නන් සමත් වුණා.

ඉනිමේ පළමු කඩුලු පහම දවා ගැනීමට කසීම් අක්‍රම් සමත් වුණේ යොවුන් එක්දින තරගයකදී ශතකයක් රැස් කරමින් කඩුලු පහක් ද දවා ගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි.

නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ක් ලබා ගත් අතර, විනුජ රන්පුල් නොදැවී ලකුණු 53 ක් රැස් කලා.

ඒ අනුව රටවල් 16ක් තරග වැදුණු මෙවර යොවුන් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානය හිමි කර ගත් අතර, පාකිස්තානය 5 වැනි ස්ථානය හිමි කර ගත්තා.

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 5 වැනිදා ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...